Tuesday, August 28, 2018

~~ සන්නාලි පෙම් සිත ~~


විදුලි මැහුම් යන්ත්‍රය හඬ නගන කල
කිටි කිටි හඬින් රිද්මය ඇසෙන කල
දැඟිලි දෙපා එක විට වැඩ කරන කල
හැඟුම් මතින් දිවි මංපෙත වියන කල

උරුම නැති කමට සිප් සතරක් ලැබුමට
කාසි සොයන්නට අප සැම දිවි රැකුමට
හැරදා මාපියන් සොයුරන් නිවසින් බට
පැමිණ රැඳුනි ගෙතුමට සළු සෙයිලමට

නේක මෝස්‌තර දමමින් යකඩ අසුද පිට
පැමිණයද නොරැවටුණි අවවාද අසා සිට
කම්හලේ රැවුම් ගෙරවුම් කැපුම් මැද සිට
දිනක් දුටිමි නුඹ රුව සීත කාමර තුළ සිට

තුරුණු කඩවසම් මනා රුවද පිරුණු ඔහු
සිනා බරිත මුව මඬලින් සිටිනු දුටිමි ඔහු
උගත් කමින් සුදුසුකමින් ඇති ගුණ ඔහු
නැවතී ඇත සිත සෙනහසින් පාමුල ඔහු

රුව ලැබ ඇත මා පෙර පින ඇති හන්දා
නැණ ලැබ නැත පෙර පව් ඇති හන්දා
ධන බල නැත අප හද්දා පිටිසර හන්දා
පෙම ඇත හද තුළ නුඹ සිත් බැඳි හන්දා

ඉඟි බිඟි පාන කෙල්ලන් රැල නුඹ දකින
මහතුනි බිය දැනේ උන් නුඹ අසුවී කියන
ගමන බිමන හැඩට වැඩට ඇතිවා සරිලන
ආසයි සිතින් හෝ ලංවී සිට පෙම් කරන

පෙරුමන් පුරා ඔබ හා වදනක් දොඩන්නට
සිතක් හදක් ලතැවේ අද නුඹ පෙම පුදන්නට
දුප්පත් කෙල්ල දනිමි සැම නොව ගැලපුමට
ඇත ගනු නොමැති රිසි එනමුදු සිත දිනුමකට

නුහුරු නුපුරුදු හැඟුමන් සිත ගත දවන
පාඩම් ඉගෙන ජීවන නෞකාවද හසුරන
ගෙත්තම් කරන්නට නව ලොව සනසන
මහතුනි පුදමි හද නිහඬව නුඹට පෙමින 

---රකිත---



Wednesday, August 22, 2018

~~ මහ මග බැඳි සිතුවිලි ~~





බසයක් ඉදිරියෙනි ඉස්සර කරනු බැරි
බසයක් දකුණු පස තීරු මාරුවද නැති
ටිපර් ලොරියක් පිටුපස පණ බයද වැඩි
මරණ තුනක් මැද පදිමින් හොන්ඩා නැවි

අලුත් පිටට වේගය තහනම්ද හතලිහට වැඩි
ගැහැණුත් පදිති ස්කූටිද මට වේගයෙන් නිති
දුහුවිලි සහ දුමෙන් පිරි පෙනහළු නාසය දැවි
මහ මග පණ අදිමි දිනක සිරව හුස්මද නැති

නලා හඬවනා දෙසවන බිහිරි කරවනා හැටි
යන්ත්‍ර හඬට දෙදරයි මුළු ගත සලිතවද වැටි
බිණුම් ඇසේ නොමනා අමිහිරි වදනින්ද සැදි
ඉවසා වදාරා සිටිනෙමි මහත් බලයක්ද නැති

හුරු නැත මහ මග තවමත් ආධුනිකද වෙති
සුදු පසුබිමක රතු එල් අකුරින් පෙනෙනු ඇති
නොපෙනෙන රඟ මහතුනි රියදුරු අසුන සිටි
කුමට වදන් පවසනු තොපට කට කහන ඇති

සංඥා නොමැති පෙර දකුමන් ත්‍රී රෝද වෙති
රිංගා මැදින් වමින් දකුණින් දිසාවන්ද නැති
සෙසු යතුරු පැදිද  පෙන්වයි රැඟුමන්ද සැටි
වමින් යමි පුහුණු අවසර පත පමණක්ද ඇති

සුදු පටි පැළඳි නිල දරුවන් මග අසල සිටි
පෙනේ රීරි යකු මෙන් රුධිරට ලොල් ඇති
කිමද ඔවුනටම මා පෙනනා පැහැදිලිද සැටි
වරද නොමැත මා ඇත දඩ නම් අවැසි නැති

වංගු වට රවුම් නම් බාධක ලෙසට ඇති
මග සලකුණු පිළිපදින මා පමණද සිටි
ආලෝක සංඥා කණු නම් විශ්වාස නැති
අසරණ වේද විටෙක  නැගි යතුරු පැදි

මහ මග නොමැත අනුකම්පා පතනු නැති
මිතුරු මිතුරියනි මේ බව සිතට ගනුද ඇති
පදවනු මැනවි තම රථද සතියෙන්ම නිති
රකිනු දිවි තම නොව පමණ අනුන්ද ඇති

---රකිත---


Wednesday, August 15, 2018

~~ බඹරිඳු වියපත් ~~


උදා රිවි කිරණ
බිම සිපින හිමිදිරිය
පිය මනින කුමරියක
සරසවි මවුන් වෙත

යෞවනය පිරි කුසුම
නෙළා රොන් උරන්නට
මත් බඹරිඳු වෙමි තුමුද
වියපත් වෙමින් යන

පිරි ලමැද වූවන මුදු
දිගු වරල
නෙත් මුවැත්තිය
ලෝහිත දෙතොල

සිහින් ඉඟ සුඟ
දෙපා සියුමැලි
කරන හදවත්
තුරුණු මන්මත්

වසන්තය නුදුටු නෙත්
පෙනනා පමා වූ වස්සානයක
සිතින් ගොඩ නගමි කල්පිතය
යථා බව නැති සැටිය

උරුම නැති හිමිකමක් නැති
දිවිය කල් ගෙවා ඇති
තුරුණු සිත සිරව සිටිනා
වියපත් වෙමින් ගත තුළ

සිප් කිරෙන් පුරා හිස
දෝවන්න සරසවි මවුන්
නුඹට මෙන් වරම් නැත
ඇති සති අගටමද

දිවි තරගයක සතියක
වේය සැනසුම දිටි නුඹ රුව
දකිමි නරඹමි සිත් ලෙසින්
සිටක දුරකින් ලොවට

කෙළිලොල් සිනා හඬ මිතුරු මිතුරියන්
නිහඬව අසමි ලංවනු නොහැකි කල
සිතේ නුඹ හා තනිව දෙඩුමට
පැරණි පෙම් කවක් විලසින

කලා කෙත පුරන්ව කල් ගතව
අස්වැද්දුමට පමා වන්නට
නිසා සොඳුරිය ලියමි අමුවට
නුඹට පෙම් බැඳි වියපත් බඹරා වීමි

---රකිත---


Monday, August 13, 2018

~~ තුරුණු ගොවි ~~


සොමි කිරණ ගලා හැලි
වැව් පිටිය එලිය කළ
පෙම් කෙළින ගජිඳ තෙමෙ
කෙනෙරද හා එක්ව

කිරී වැදී බරව බිම්
සරුසාර ගොයම බඩ ඉරිඟු
ඕවිටක තුරු මතින්
රැඳි පැලේ රකිමි සිට මෙමා  

බකුසු වවුල් හඬ ඇසෙන
උල ලේනි නැත අදින්
බෝදිලිමා නොපෙනේය
රැහැයි හඬ එමට ඇත

ගංගාව සන්සුන්ය
මසුන් කෙළින සැටි ඇසෙන
මුව ගෝන රංචු මැද
කැලෑ සූකර හදි ගැසෙන

රටා වැටි පන් පැදුර
හැඩකාර දෑත් යුග
සිහිකරන නුඹේ රුව
සඟවනා වත විලින්

තරු පිරි අහස් කුස
මැදක දිදුළන සඳින්
නිදි නොමැත නම් අදද
සිහිවෙනා නුඹ සිතේ

පෙති ගෝමර කොමළ
රේඛා ගත පිරි
සඳ වතුරින් නැහැවෙන
සැටි බැලුමට

තුරු වදුල මුවා වී
නැගෙන සර සර හඬින්
තනිවන්න එක් වරක්
සීත රැය උණුසුමට

කුරහන් ඉරිඟු වීයෙන්
කර සරුසාර
ඵල එළවළු හේන්
විරියෙන් අස්වැදුමට

එන බක් මහක
නව අවුරුදු උදාවට
එමි සොයා නුඹ කර
අතමිටද සරුසාර

---රකිත---


Wednesday, August 8, 2018

~~ මගේ කවිය ~~


දුරත් නොමැති
ගැඹුරුත් නැති
දිගු නොමැති
කෙටිත් නම් නැති

තේරුම් නොමැති
නොතේරුම නැති
කවියක් නොමැති
නිසඳැසක් නැති

ඉදුණු නොමැති
අමුත් නම් නැති
රසද නොමැති
නීරසයත් නැති

රුවක් නොමැති
පෙනුමක්ද නැති
ඇයට නොමැති
ඔබටත් නම් නැති

එලිසමයක් නොමැති
වදන් පෙල නැති
පෙලක් නොමැති
අපිළිවෙලද නැති

දොම්නස නොමැති
සොම්නසද නැති
ලිවීමක් නොමැති
යතුරෙන් හැඩ නැති

සතර පැදි නොමැති
පද වැඩිද නැති
ගැයුමක් නොමැති
වැයුමක්ද නැති

නොකියවා නොමැති
කියවාද නැති
මොළයට නොමැති
හදවතටද නැති

කඩදාසියේ නොමැති
අංකිතවද නම් නැති
සිතේ නම් නොමැති
අතැඟිලි අගද නැති

වැඩකටද නොමැති
අවැඩක්ද නම් නැති
සොඳුරු නම් නොමැති
අසුන්දරකමද නැති

---රකිත---


Thursday, August 2, 2018

~~ නව හැරවුමක් ! ~~



රිදවනා සවන් යුග සරදමින් නිමා නැති
වේදනා දේවි නෙතු තිර මතට යොමා ඇති
අවුල් වී ඇත හිසද වැඩද ගොඩ ගැසී ඇති
සැනසුමක් සොයා යන එක් සිතක් නැති

හතර කණිසමද අදින් පසු උරුම නැති
පහේ කනිසමටවත් නිදහසක් නොමැති
විඩාපත් ගතද නොව සිතද අද හිස්ව ඇති
ගැටලු නම් පිරී ඇති පිළිතුරුවත් නොමැති

පෙර දිනක කළ වැඩ රාජකාරියද නැති
වෙනස් වී ඇති සෙයකි නුහුරටද නම් ඇති
අවසානයක් නොමැති පැටලුමක්ද ඇති
නොයන කල තේරුමක් කාලයක්ද නැති

අක්ෂර අංක පිරි සිරස් තිරස් තීරුද ඇති
දහස් ගණනක දත්ත පිරි පත්‍රය නිමක් නැති
තෝරමින් එකෙනෙකට ලේ කෝප ඇති
සිහි වේය ගල් යුගය තාක්ෂණ ලොවද නැති

රාජකාරිය දේව කරිය ලෙස කෙරනු ඇති
නොරිදවා සිත් සතන් සෙස්සන් සතුව ඇති
ඉහළ බලධාරී ඉලක්ක ඉටු කෙරුමටද ඇති
දොසක් ඇසුමට නොහැක කාලයද ගෙවී ඇති

වෙනසක් පැතූ නැති මුත් වෙනසක් ලැබී ඇති
දුක් කම්කටොලු පිරි නවමු අභියෝගයක් ඇති
මුහුණ දී ජය ලබන්නට වසනාවද ලැබෙනු ඇති
එනමුදු නැතිද අවිනිශ්චිත භාවයක් සිතේ ඇති

---රකිත---