Thursday, September 28, 2017

 ~~ මධු දිනක ~~


පිපුණු රෝස කුසුමක් බඳුව
සිහිනයෙන් පමණ දුටු රුව
විහිදෙනා රැස් දහරින් පිරි
වනයේ මල් කුමරියක්‌ ලෙස

සොමි කිරණක් ලෙසින් එන
මෘදු වදන සවනත වැකෙන
පහන් හැඟුමක් සේ දැනෙන
මුදු මුවැත්තිය නුඹ යනෙන

උදෑසන සොඳුරු බව පෙනෙන
හිරු දෙවිඳු සේ නුබ දිළෙන
ගීතයක සප්ත ස්වර මතින
සියල් වර්ණයෙන් සුසැදෙන

හංස රැජිණියක් විලසින
දිය රැළි මත ඇති පියුමන
සිහිල් මද නලින් මතුවන
කුමාරියේ සිහින මවන

මිහිදුම් සේලයෙන් එතෙන
සුරංගනා ලොවින් එන්න
සිසිලස ගිනි දැල් විහිදෙන
පෙම් පහසින් වැළඳගන්න

සුමුදු සුවඳ සඳුන් පුසුඹින
මුදු ලෙස ස්පර්ෂිත කරවන
මන් මත් වී වැඩෙනා ලෙසින
සොඳුරු ලොවකදී තනිවෙන

---රකිත---



Tuesday, September 26, 2017

~~ සිහිල් සිතුවිලි මතින් ~~











කාල වර්ණිත
අහස් තල
වළාකුළු
ගැබ්බරව සිටි


උපදනා 
වැසි බිංදු රිසිසේ
පිනූ පොළවට
සිසිලසින්


රිදී එළි දෙන 
සොඳුරුතම
වැසි බීරුමක
සිහිල් මද නල


සිප ගනු මැනවි 
තුමු ගතම
දොවන්නට සිහිලෙන්
සැනසුමෙන්


වෙහෙසෙනා 
ගත සිතද නිරතුරු
සැනසුමක සේයා
සොයා යන


නොලැබ සිසිලක් 
පතමි නුඹගෙන්
සොඳුරු වැසි බර
හෝරා පුරාවට


සිහින පිරෙනා 
රෝමාන්තික ලොව
ලඟා වන්නට
වරම් නැති වුව


ඇදහැලෙනු
ගත සිත සිසාරා
මවන්නට කම් පිරි
ලොවක මායා


නොලැබෙනා
වස්සානයක සුව
විඳින්නට
සිහිනයෙන් හෝ මද


කුමරියේ වැසි
වඩිනු මැනවි අද
තුරුණු තනිකඩ
සිතට අනුකම්පා කර


---රකිත---




Thursday, September 21, 2017

~~ වරමක් ලැබ ~~



නිමිත්ත -  සරසවි සති අන්ත පාඨමාලා හදාරන වැඩිහිටි සිසුවාගේ සිතිවිලි

පිං මදි වුව මුත්
ලැබුමට නම්
සරසවි වරමක්
නිසි කල නිසි ලෙස

වරමක් ලැබුනෙමි
සතියට එක් දින
පමණක් යන
සරසවි ගමනට

නිසි කල වයසද
ඉක්මවා ගිය මුත්
දැනුමට නුවණට
වයසද බදා නැත

උගතුන් වියතුන් මැද
දැනුමින් නුවණින්
වැඩුමට දිවි මග නිසි
බුද්ධිය යොදවා මතු

සරසවි දැරු දැරියන්
වෙත ඇති නිරතුරු
සොඳුරු වසන්තය
පිරි ලොව අහිමිය අප

දේශනයන් පැවරුම්
ප්‍රශ්නද ව්‍යපෘති නම්
අපටද උරුමය වී ඇත
ඔබලාට මෙන්මද

ලැබු වරමින් අප
ගනු ඇත නිසි ඵල
අවසර ලිවුමට
අවසන් විභාගය

පිං මද අප සැම
පිං කරනෙමු නිති
ලැබුමට සරසවි
වරමක් මතු භව

---රකිත---




Wednesday, September 20, 2017

~~ සිතුම් පැතුම් ~~


සිතුවිලි නොඑනට
කවි සිත කිම අද
ගෙත්තම් කරනට
නිදි නැති රැයකදි

අවසන් විෂයයට
වනපොත් කරනට
සිත ගත සැරසෙන
යාමය පැමිණෙන

නීතිය ආචාරධර්ම
දුෂ්කරද මෙතරම්
මතකයට නොයන
වගන්ති සංශෝධන

එක් විෂයයක් පමණි
නිමා වේ වසරක වැඩ
එනමුදු නොතේරේ
කිමද මෙතරම් දුකක්

සොඳුරු රසවින්දනයක
පහස ලැබුමට සිතෙන
එනමුදුද වරම් අහිමි
අවසාන විභාගය පාමුල

දුක් විඳිමු එක ලෙසට
වරම් නොලැබුන මුත්
නිසි කලක නොලැබූ
සිප් සතර ලැබගන්න

සොඳුරු සරසවි පහස
ලබමි නිසි වයස් ඉක්ම
දැනුම බලය වන කලක
වයස නම් අවැසි කුමට

අවසන් අභියෝගයටද
මුහුණ දී විරුවන් ලෙසින්
සුභ පතමි හදවතින්මද
ජය ගැනුමට දිවි ගමන

---රකිත---



Saturday, September 16, 2017

~~ අවසන් නැත විභාගය  ~~



තුටු නැත සිත නම්
ලියු පිළිතුරු දැක
හැකි වෙදද ලිවුමට
පිළිතුරු මෙපමණ

පුරා දෙවසරක ලැබු
සිප් සතර සරසවිය
හැකිවේද වැමෑරුමට
තුන් හෝරා කාලයෙන්

රිදුම් දෙන ඇඟිලි තුඩු
උරපත්ත අත දිගටද
වේදනාවන් පරයා නැගේ
විභාගයේ භීතිකාවද

පෝය කිහිපයක් දිගට
නිදි නොලබා වෙර දරා
සැනසුමක් නොමැති වූ
දෙසතියක විරාමය නැති

නිමා කළෙමි වනපොත්
වැමෑරුවෙමි තුන් පැයට
විෂයයන් සතරක දැනුම
නිමාවයි හිසරදය මදකට

සැනසුමක් නොමැත සිත
නැගේ මතකයට අවසන්
නීති ආචාරධර්ම විෂයයද
මහ මෙරක් මෙන් දැනෙන

නීතිද රීතිද ආචාරධර්මයන්
නේක වගන්ති පෙළ ඇති පිරී
කෙසේ නම් කරනු වනපොත්
දැරිය නොහැක හදටද සිතටද

පතමි ඉත සිතින් නිරතුරුව
ඔබේ ආශීර්වාදය මිතුරනී
සමත් වන්නට තුටින් පත්‍රය
විභාගය නිමා නැත තවම

---රකිත---



Wednesday, September 13, 2017

~~ පෙම් සිතක වදනක් ~~


නුඹ නෙතද මා නෙතද
ගැටුනු දින තුටු ලෙසට
ගත වුවද කල් බිඳින් බිඳ

සුමිතුරු ලෙසින් සැම

බැඳුනු මා සිත නුඹ වෙතට
කෙලෙස නම් පවසනු මුවට
නිතර නිති සැරිසරන සිතට

නුඹද ආලෝකයක් වන්නට

පවසන්න මා නුඹට බැඳි ආලයද
අහිමි වෙද  මිතුදම සිතද බියට
සැඟවුව මුත් සිත් තුළ රහස
නුඹට හැකි වෙද හැඳුනුමට පෙම

---කාංචනා---



Tuesday, September 12, 2017

~~ අරුමයක කරුමය ~~


අකලට පැසෙන සේ
පවසනු මුත් සිතින්
වස්සානය නිම වූ බව
පසක් වන නර කෙස

වියැකෙනා ලවනත නම්
වසා ගනු වස් රැවුලෙන්
නර කෙස අතරින් පතර
මතුවනා කළද දෙපසින්

සිට පරපුරක් පිටු පසින්
ඉගෙනුමට යොමා සිත්
පමා වූ බව දනිමිද මුත්
සිහින දකිනා ලොවක

නේක විනෝදය ලබන්නට
සැරසෙනා සහචරයින් හා
මුහු වන්නට වරම් නැති කළ
වනු මැන කමා ඉගෙනුමට

තුමු නොදුටු අහිමි ලොව
තුළ රඟනා මිතුරු කැළද
එකත්පස්ව සිට බලමිය
පහන් වූ සිත හැඬුම් මැද

හද පතන ආලයක රැඳි
සොඳුරු සිහිනයන් පෙළ
බිඳවැටෙන වේගයද වැඩි
අහිමි වන මල් සමය වෙත

පසු කරන් තුමු පියඹා යන
කාලයා සමගද අන් පිරිසම
වාරු නැත තරගයට ඔබ හා
සෙමින් යමි තුමු කේන්ද්‍රයට

ඉගෙනුම ආලයද යන කරුණු
පමා විය නොකරනුද සරදම්
ගමන තව දුරයි කරනෙමි කැප
ජය ටැඹ වෙත යන්න නිරතුරු

---රකිත---





Friday, September 8, 2017

~~ විභාගයට  පෙර සිතිවිලි ~~



පුරා වසරක ගෙවූ කාලය
අධ්‍යාපනය ලබනු වස්
කැප කෙරුම් ඇනුම්
බැනුම් ගැරහුම් අපහස

උපහාස බාධක මැදින්
පැමිණි ගමනක
අවසාන කඩඉම
පැමිණ ඇත විභාගය

ලේ දහදිය කඳුළු සුසුමන්
අතර වියැකි කාලය
නොවේ මනරම් ලෙසින්
දුක් පිඩා කම් කටොළුද

පිරුණු සඳ ගමන් මග
සියල් නිම වන පැතුම් පිරි
අවසරයි වන්නට දැහැන්
අවසන් විභාගය

කේවල කණ්ඩායම් ව්‍යපෘති
නේක පැවරුම් කල් ඇති
දරා ගත නොහැකි
වන්නට දිවි අභියෝගයෙන්

කළෙමු සියල් පැවරුණු වැඩ
රාජකාරි දිවියද කැප කර
පැමිණ ඇත අවසන් පවරුමද
නම් මිනුම විභාගය

දින සති මාස ගෙවෙමින්
නොදැනී වසරකට
දිනයක් පැමිණ ඇත
තෝරා ගැනුමකට

අවැසි නොමැත කිසි ලෙස
හොර බොරු වංචාවන්ද
අදිටන් කරමු වෙර දරමින්
ජය ටැඹ වෙත යන්න

සිහිනයන් පැතුමන් නිති
ඉටුකරවනද විලසට
මුහුණ දෙමු අප සියල්
අවසාන විභාගය වෙත

ගමන නම් ඇත තව දුරට
කෙරුමට ඇති වැඩ බොහොම
කඩ ඉමක අවසානය නොව
ආරම්භයකි නව පියවරට

---රකිත---



Monday, September 4, 2017

~~ අනියත දුටු මොහොත ~~


මුවහත් තලය ගැටෙනා
කල වුවන මත
පෙණ පිඬු දියර මත
ලුහුටා යනෙන කල

තණ බිස්සක් කැපි කැපි
යන හැඩට ඇති
සුදු ඇතිරිලි මත දකිනෙමි
රැවුල් කොට

රවුමට කොටුවට හැඩයට
ගත යුතුව නිති
කැපුම ඇද වුනොත් වේය
නව මොස්තරයක්ද

නේක වර්ග කිරම ඇති මුත්
නොවේ සම සබන් පෙණ
දැලි පිහියෙන් බැරි නම්
අල්ලමු යාන්ත්‍රික කතුරු

රැවුල නොව පමණ හැඩයට
තිබිය යුතූ
හිස කෙස ද සකසනු මැනවි
හැඩයට පෙනුම

මෝස්තරය ගැලපෙන්නට
කාලයට ඇති
කැරණවෑමී තොමෝ කපනු
මැනවි කෙස් රොදද

හිස වට යනෙන කතුරු තල
ස්පර්ශය නම් සොඳුරූ
කෙස් ගස් කැපෙන කර කර
හඬ මනරම්ය

මතුවන කලක නව පෙනුමක්
වුවන පුරාවට
තුටු වන සිත නම් පවසනු
නොහැක වදනින

ශ්වේත පිරුවට මත පතිත
කෙස් රැවුල් කොටද
අතර රැඳි නර කෙසද  රැවුල්ද
සිහිය කරවනද අනියත

තුටු පහටු සිත කෙමෙන්
තනි වේය පාළු ලොවකට
කරනු වස් මෙනෙහි
අනියත ලෙසින්

හැඩ වැඩ දමා සකසුවද
වුවනද ගතද
කළ නොහැක නැවතුම්
ජාති ජරා මරණද

වසර මස දින හෝරා
විනාඩි තප්පර කල ගෙවෙන
ලඟා වේ මරු කටට නිති
දැන ගැනුම යහපති සියල්

---රකිත---