Monday, July 23, 2018

~~ වියපත් (නො) වූ පෙම ~~


තුරුණු බව පිරි එකල
මඟුල් සේයාරුවට යට
ඇතිය දූ පුතුන් සතු කළ
ඔවුන් දිවි මගේ සටහන්

මහ ගෙදර තැනූ කැදලි නැත
ඉගිල ගොස් කුරුලු පැටවුන්
නුඹත් මමත් පමණි අද සිටින
සවස් කළ දිවි රැයක් වන්නට

පෙර දිනක හමුවෙලා පැතූ ලෙස
එක්ව ගත කළ දිවිය මනරම් වූද
කාලයා මුවා කර ලොවට අපගේ
ගෙවී ඇති අපූරුව බලනු මැන සුදූ

ගුරු පාර අද නොමැත මහ පාර එහි ඇතිය
දොළ පහර නොපෙනේය හරස් වී ඇති වැවට
වෙල් යාය සමුගෙනය ගොඩනැගිලි සමූහය
සොඳුරු බව අද නොමැත මතකයක් පමණි එය

ගිලී යන නෙතු සඟල වුවන රැළි වැටුණු ගත
සුදු කෙසින් පිරි හිසින් ඉදිරී වැටෙන රොදින්
වාරු නැති දෙපා අත් වාරු කර හැරමිටි ගසා
මුව වසා සිටිමි දන්තයද වෙන්වී ඇති නිසා

එක පසෙක ඇන තියන් නුඹේ තනියට සිටන්
වෙව්ලනා හඬ අවදි කරමි අද සිත් ලෙසින්
වෙහෙසයි තරගයේ දුවා ඉවත් වී ඇත අපද
ඉතින් හිනැහෙමුද අපි මුවා වී සැබෑ ලොවට

ආ ගිය කතා සිහි කරන් වන තුටු
කෙලෙස් නම් නොවේ මතකයන්
වැගිරෙනා කඳුළු කැට සතුට දුක පිරි
පිසලන්න අවසරද එදා මෙන් අදද

නුරා බව ගිලිහි ඇති පිරි දයාබර සිතින්
නුඹේ හිස පිරි මදිමි සිපින්නට වාරු නැති
හිරු බැස යන කල් පැමිණ ඇත දිවියට
හෙට දිනක් ඇතිද අප අනියත වූ ලොවේ

සසර වසනා තුරා හමුවන්න පතමි ඔබ
අතීතය සැරිසරන තුරුණු සිත සන්සුන්ය
ලොවට අප අමතකව යන දිනය එනු ඇතිය
තණ අගින් පිණි බිංදු වැටෙනා ලෙසින


පන නල රැකිමි නුඹද දරුවන් සමගින්
අවසන් කල වුවද හද පිරි සෙනෙහසින්
යුග ගීය ගැයූවෙමු එක්ව අප මේ භවින්
වෙන් නොවී හමු වෙමු අප කළ පිනෙන්

---රකිත---




Monday, July 16, 2018

~~ රැඩිකල් ( පෙම් ) සිතුවිලි ~~











දහසක් යනෙනා මහ
මග අද්දර සිට
අත් පටලා තුරුලුව
රිසි සේ සිප ගන්නට
නුඹ තොල් පෙති
මා දෙතොලින්
දනන් සිත් පුරවා
කෝපය ඊර්ෂ්‍යාවෙන්


කෙටියට සිරවී මතුවන
කෝමල රේඛා ගත
හඳවා පළඳා නේක
විලාසිතා ඇඳුමින්
උස් අඩි මිරිවැඩි
පච්චය ඉන පිටුපස
නුඹ හා එකතුව
එක මග යන්නට


සවස් කලක තනිව
පුද බිමක සිට
පෙමක නාමයෙන්
පිදුමට මල් පහන්
එක්ව යැදුමට බුදුන්
දෙවියන් ඉදිරියේ
කරවා කුපිත
සිල්වත් නොමිනිසුන්


පොදු බසයක දුම්රියක
නැග ගමනක යන
අවසන් අසුන මත හිඳ
වැළඳ නුඹ මුදුව
පටලවා අත් පා සිත්
ලෙසින් සිත් තැන
නොසලකා ඔරවා බිණින
ගස්සන දනන් සැම


ආලෝක වූ ලා එලි මතින්
මුවා වී ලොවට
සතර බිතු මැද යහනක
නුඹ හා තනිව සුවයෙන්
අපරිමිත කම් සැප ලබා
තුටු වන්න සෙනෙහසින්
කරවා සියල් සදාචාරය
ඉවතලා මදකට ඉතින්


නීති රීති තහංචි මුවා කර
සංස්කෘතිය වෙත
පෙම තහනම් මුදු ගස මුල
සුළු දිය පහ කරනු කම් නැති
නිවටුන් ලෙසින් සිටිනා
අය විරුවන් කරනා
කුමට මෙවන් දිවියක්
අප ගෙවන සැමා


ප්‍රේමය පිවිතුරුය සොමි
කිරණ සේ මුත්
රොන් බොනු බැරි
මලකින් ඵල නොමැති
ආලය පාප කරුමය ලෙස
දකිනා ජනතාව ඇති
රටක කුමට දිවි ගෙවමුද
සොඳුර සොඳුරිය අප


---රකිත---


Tuesday, July 10, 2018

~~ ආධුනික යතුරු පැදිකරුගේ සිතුවිලි ~~









රකුසන් ලෙසින් සිට
පිටුපස සුක්කානම
හසුරවයි රථය
යුධ රථ ලෙසට
අනුකම්පාව නොමැති
හදවත කොනක
ආවේසයෙන් ආවේගයෙන්
පදවනා කල


නුදුටුවද සවිකර
තිබෙන රතුවට
ඉංගිරිසි හෝඩියේ
L අකුර
වම් පසින් දකුණු
පස හා සමව
තරග කුමටද
පෙලට යන්නට


පරුෂ බස වහරමින්
මහ මග දිගට
බිණින අප අත
වරදක් නොමැති
නීති රීති මහ මගට
පනවා තිබෙන
වගක් නැති සැටි
බලන් මිනිසුනේ


ගැටෙන්නට යන
කල පිටුපසින්
මග අයින වියද
රැකවරණ අප
ඉඩක් නොදෙනා කිසි
බදු ගෙන මාර්ගය
වරම් නැතිද අප හට
ගමනටද මහතුනි


වරම් නොමැති කල
සිව් සක පැදුමට
ද්විත්ව සකට ගැරහුම්
ඇයි මෙපමණ
සතුරු ලෙසින්
පෙනෙනුය කිම අප
තලා දමන්නට අප
සැරසෙන නිති


ඉඩ දෙන සියලුම රථ
වාහන වෙත
රෝස් පරොස් ගැරහුම්
අප ලැබුමට
පොලිස් ඇසද
නිරතුරු යොමුවන කල
සැනසුම ඇතිවෙද
මහමගද අප හට


මර බියෙන්
තැති ගෙන හදින්
පදිමි නව
යතුරු පැදියක්
අනේ මහතුනි
නෝනාවරුනි ගරු
යදිමි අනුකම්පා
මහ මග යනෙන කල


---රකිත---


Friday, July 6, 2018

~~ 80 – 90 ළමා කල ~~


පෙර කලක යට ගිය දවස
සොඳුරු මතකයන් අතර
තනි වන්න මොහොතකට
එපිටින් මිදී සැබෑ ලොවට

නොමැත බරපතල වගකීම්
සිතත් සැහැල්ලුය මනහරය
ගී ගයා නටා වයන්නට සැම
පිය මනිමු ළමා ලෝකයට

කෙළි සෙල්ලමෙන් දින පුරා
පාසැලද විය සොඳුරු නිරතුරු
යහළු යෙහෙළියන් හා එක්ව
ගත කළ සොඳුරු කාලය සැම

වෙල් එලිය තැනිතලා අද්දර
දොළ පාර ලඳු කැලෑවන් තුළ
ගුරු පාර විය පා තබන්නට අප
හිරු අවර තුරු විනෝදය විය

ගුවන් විදුලිය ගී ළමා පිටියද
රූපවාහිනී කාටූන් පෙළ ඇති
විනෝදය විය සවස් කල අප
සොඳුරු ලොව වෙත කැඳවනා

ලියුම් පොඩි ලියනා කඩදාසියද
සිතියමින් නිති ලැබූ ඵලයද අප
පාට කූරු දිය සායමින් හැඩ වූ
සිතුවමින් සිතිවිලි කරවා ජනිත

සීනි බෝල ටොෆි චොකලට්ද
අයිස් පැකට් ඇඟිලි විස්කෝතු
ජුජුස් හූනු බිජු මුරුක්කු සමගද
රස කදිමය කට දිව පිනවන්නා

දොහොත් මුදුන් දී බුදුන් වඳින අත
වැන්දෙමු දෙගුරුන් පාසැල් ගුරුන්
වැඩිහිටි තුරුණු සැම වැඩිමල් හට
ගරු කරමින් අප හැදි වැඩි ආවෙමු

හිරු කිරණින් සඳ කිරණින් සපිරිව
සොබාදහම හා එක්වී අප නිබඳව
ගුණ නැණ බලයෙන් යහපත් ලෙස
කාලය අතරින් අප වැඩිහිටි විය

අපට හිමි ලොව අහිමි ළමා පෙළ
සිරවී ඇත තරගයක නොනවතින
එක්වී ඒ ළමා තුරුණු පෙළත් හා
අප සිරවී අද අංකිත ලොව තුළ

---රකිත---


Monday, July 2, 2018

~~ (අ) හිමි වූ සරසවි ~~


රිදවනා සිතද හද
පෙර දිනක මතක පෙළ
ඉවතලා හමුවෙමුද
මුව පුරා සිනාවෙන්

පිඨයේ අද්දරක
තුරු ලතා මඬුලු මැද
අයෙමත් යමු අපිත්
සති අගට සරසවිය

දින පහකහෝ හයක
වෙහෙසකර වැඩ සතිය
නිමා කර පැමිණියෙමු
අහිමි සිප් සතර වෙත

මග හැරෙන සොඳුරු තැන්
දිවියක කැප කරන්
සරසවිය වෙත ඇදෙමු
නිසි කලත් පසු කරද

විවේකී ඉරු දිනක
නිහඬ වන සරසවිය
අහිමි වූ අපට හිමි
එක දිනක සති අගට

ඔබලාට මෙන් නොමැති
ඒ සොඳුරු ජීවිතය
විඳිමි අප එක දිනක
සරසවියේ සති අගට

පවුල් පන්සල් වූද
ආලයේ මිහිර සොයනා
විවේකී බව විඳින
අන් සැපත නෙතු ගැටෙන

හැර දමා ඒ සොඳුරු
මොහොත කාලයකටම
වෙර දරමු අපි සැවොම
ජයගන්න ඉලක්කය

කාලයා කරවනා පරිණත
බවක අවෑමෙන්
පෑදෙනා මොළය පුරවන්න
දැනුම් පෙළ මතින

පමා වී පැමිණෙමු
සරසවි මව් වෙත නිබඳ
පෙර කලක අහිමි වූ
වරම් නැවත ලබන්නට

සරසවිය වනු ඇත සවිය
මුවා වී කාලයට
වයස්ගත වුවද අප
තුරුණු වෙමු මුළු සිතින්

අධ්‍යයන විභාගයන්
පැවරුම් ව්‍යපෘති මැදින්
අපිත් ජය ලබන්නෙමු
උපාධිය හා සමව

---රකිත---