Sunday, January 27, 2019

~~ සෙනෙහසින් මිතුරියට ~~




විහිදුවා සුගන්ධය පැතිර 
දසතින් විදී ලොව මත
විකසිතව කැකුළු මල 
රුව පැහැ දිදී දිලෙනා

වර්ණවත් වූ ලොවක නව 
සිහින පොඩි බැඳන්
නුඹත් හිනැහෙන්න ඇති  
දහසක් පැතුමන් අරන්

ඇදී කුසුමට වශී වී ඇති 
බඹරිඳුට නුඹ වූවා මනාපය
බැඳෙන්නට ඇති සෙනෙහෙන් 
ඔහු නුඹට බැඳි පෙමෙන් 

නාද දුන් ඒ රටාවන් පෙළ 
ආලයෙන් පිරි මකරන්දය
පුදා නිබඳව රැකද පතිවත 
සිනා ගැන් වූ ලෝකයේ

මත් බඹරු සොයා පියඹනා 
මලින් මලට නිති
නුඹත් වූ සඳ එක් මලක් 
තවත් එක් බඹරෙකුට

තලා නොදැමූ වුව පෙති කුසුමක
මකරන්ද රස නොබැලූ මුත් ඇගේ
පෙළා තලා දැමූ හද වේදනා දෙනා
ඉගිල ගිය බඹරිඳු සඳ සිත් පිත් නැති

පිණි බිඳු සේ ඇදහැලෙන 
කඳුළු කැටි පිසලුමට වරම් නැති
හිස හොවා හඬන්නට සැනසුමට 
උර දෙන්න වරම් නැති

තුනී කරනු වස් නුඹ විඳින 
ඒ දුක්ඛ දෝමනස්සය
කෙලෙසකින් ලඟා වම්ද 
ලොවක් කියනා දෝස

ඇත යන්න දුර ගමන 
නුඹට තව කල් තිබෙන
දැඩි කරන් සිත මදක් 
වෙර දරනු නිතැතින්ම

හකුලුවා පෙති මලක 
වී කැකුළු මල් විලස
විකසිතව හිනැහෙන්න 
නව දිනක පිපී නැවත

---රකිත---



Sunday, January 20, 2019

~~ සුදු නෝනා ~~


තද බද වන මිනිස් කැළේ 
අගනුවරක මුතු ඇටයේ
දෙනෝ දහක් අතර දුටිමි 
ශ්වේත වර්ණ ඇගේ රූපෙ

කාල වර්ණ තලෙළු පැහැ අතරින් 
පැහැපත් වනා සමින්
කවුරුද නුඹ කුමාරියේ 
ඇදී යන සිත ඔබ වෙතේ

ඒරොප්පේ සිට ඉඳන් 
පැමිණියද ලක් දිවට
මහ රැජිණගේ රටද 
ලෝක බලවත් රටද

කිමද සිත ඇද ගැනුණු 
ලක් මවුට මේ ලෙසට
පවසන්න කුමරියේ 
නුඹ නුහුරු වදනකින් 

කෙටි වතින් මනරම්ව 
සැරසුණු ඒ ගතට
ඇත් දළ පැහැයට එහා 
ගිය ඡවි වර්ණයට

කෙස් කළඹ රන්වන්ය 
මුව එයට දෙවැනි නැත
උකුල් සිහිනිඟ සමග 
නාරි ගමනක ඇයද

පාන මුදු සිනා කැන් 
උඩඟු නොවනා ලෙසින්
ඈ දොඩන වදන් නම් 
කිසිත් නොතේරේ අපට

රටක අසිරිය නැරඹුමට 
නුඹ මව් බිම අප පැමිණි
සතුට ගෙන දේ නිබඳ 
නෙත ගැටෙන සොඳුරු ඔබ 

නැගෙන්නට වෙර දරණ 
රටක සිරි දකින්නට
හව්හරණ වේවි නුඹ 
වැනි දියණියන් අපට

පැමිණෙන්න පවසන්න 
දකින්නට අපේ රට
මිතුරු මිතුරියන් හට 
නුඹේ විවේකී කාලයට

රැගෙන යන්නට මතකයක් 
මුණ ගැසුණු අප
හද කොනක ඉඩ ඇතිද 
රැඳෙන්නට ඔබ සමග

මතු දිනක නැවත වර 
පැමිණෙන්න දකින්නට
ඉතින් ආයුබෝවන් 
සුදු නෝනා නම නොමැති

---රකිත---



Saturday, January 12, 2019

~~ අබිසරු ලිය නොකී කව ~~















මග අද්දරක දුටු සඳ
කියා තුහ් නොදකිං කියා
කාරා උගුර කහ
කැහි තලිය දමා කානුවට

පවසා නොසරුප් වදනින්
අපහාසය මුවින් බිණ
ලැසි ගමන් යන නෝනා
මහතුන් දකින කල

පෙර දින වැළඳ මා සිරුරු
මත් වී රාගයෙන්
නුරා වදන් සිහිවේ උදෑසන
දුටු විට මහතුනී

අත් පටලා උප කුලකයක්
සමග පෙර සවස
දුටු නෝනාවරුන් එකම
ලැගුම් හල් තුළින්

උජාරුව පේනවා ඇඳුමින්
පැළඳුමින් විච්චූරණ
පළිඟු මාළිගා සිව් සක
රිය පදවමින් මග

දොඩා මිශ්‍ර බසකින්
නොත්රෙන අපට
උසස් බව කියනා හැටි
කර පහත් අප හැම

ඉඟි මරා ඉල්ලමින් රීරි මස
ගත පිනවන්න මහතුන්
වාසියට දන් දෙමින් ඒ මසම
නෝනාවරුන් උන්ට

පිළිකුලින් ඉවත බලනා
කලට උන් දෙපල අද
සිනාවක් නම් නැගෙයි
මුවට නොව සිතට අප

වැජඹෙනා උස් පුටුවේ
රවටමින් ජීවිතය
මවා දෙව් ලොවක් පසු
කර දිවිය ආපයක්

ඇද දමා මහ මගට
අලෙවියට රීරි මස ගත
එසේ කළ උන් කියයි
අපට අබිසරු ලෙසට

---රකිත---




Saturday, January 5, 2019

~~ කුලී කාර කව ~~



නෙලමි පොල් අස්වැන්න 
කරයි වතු සුද්ධ
හෝදන්න අතුගෑම 
කුණු අදිනු යහපත්ය

දවස් පඩියට නොවේ 
කුලියකට එක දිනට
සොයන්නට ගතමනාවක් 
මහතුනේ නෝනාවරුනි

තාප ජාලා විහිදෙනා 
කාල වර්ණ තාර පාරේ
අඩි ගෙවී පොල් ගහ 
ගැසූ සෙරෙප්පුව

හඬ නගා කරනා 
කුලී කම් පවසමින් අවට
කද මල්ල රැගෙන යමි 
කඩමළු සමග පිරි

හකුළුවා නාස් පුට 
දහදිය ගන්ධයට ගත
සුගන්ධ නෝනා 
මහතෙකු පවරණා වැඩට

කළත් සකසුරුවමින් 
කඩිසරව හනිකටම
ගෙවන ඒ සොච්චමින් 
කෙසේ නම් සිටින්නද

නේක අරුමොසමින් 
පිරී කඩ සාප්පුව
අහර පානයෙන් සුසැදි 
සුපිරි වෙළඳ සැල ඇතිද

නව පන්නයේ මෝස්‌තර 
ඇඳුම් පාවහන් යුග
කවුළුවෙන් පමණ දැක 
පිනවමිය සිත හඬන 

හල් සේරුවයි පොල් 
එක ගෙඩියයි
මිරිස් තුන පහද ටික 
ටික මිලට ගන්නට

හැඳි ගානට කිරි පිටි 
පොඩි පුතු හට
සූකිරි කැටයෙන් 
පුරවාලන සීනි අඩුවට

සැවුල් මසට ඇසුරුම් 
මාළුව වෙත
රසමසවුළු දෙස නොබලා 
එන්නෙමි අද

ඇඳුමක් කැඩුමක් ගත් 
කාලය නැත මතක
පැල වෙත එමි 
පා ගමනින් සැම දින

රතු රොතු පිරි මහතුන් 
මොර දී අප 
වෙනුවන් කියලා 
ඉගිලී යන රඟ

නොබලයි උන් අප 
අවලංගුය ලොවකට
සැතපෙමි පැදුරේ නිදි 
නොලැබූ හෙටකට

---රකිත---