Monday, November 28, 2016

~~ අහිමි ~~















නිසි වයස් ගෙවුණු ඉක්බිති
ලබන්නට සිප් සතර ඉහලට
පැමිණි වරමක පහස විඳුමට
පැමිණි සඳ වෙතද සරසවිය

විසිර ඇති සාගරය සේ ලොව
දැනුම් සයුරින් පෙරා දෝතින්
ලබන්නට සිප් කිරෙන් ජයටැඹ
ඉරු දිනක සරසවි වරමකින්

නෙතු ගැටෙන නේක දසුනින්
පිනා යයි සිත් සතන් නිතැතින්
අහිමි බව දැනේ සොඳුරු ලොව
නොගැලපෙන ලෙසට වයසට

අහඹු ලෙස දුටිමි රුව නුඹේ
දෙසුම් අතරක උදැසන දින
දුටු ඒ දිනම බැඳුනි හදවතින්
සිතුනි නුඹේ වන්නට නිතින්

මල් වැසි වසින අඳුරු වැසි බීරුම
සියොත් ගී හඬ ඇසෙනා උදෑසන
දුටිමි සරසවි සොඳුරු දසුන් පෙළ
ඔබේ නෙතු යුග අද්දරින් සිටි කල

ජයගත් බව දැනුනි මුළු ලොවක්
දිනූ කලක නුඹේ හදවත සොඳුරු
සිහින මාළිගා ගොඩ නැගුණි එම
අනාගතයක නොපෙනෙනා කල

බැඳුනු වුව පෙමින් දෙහදක් නිතින්
නොවිමි මත් බඹරෙකු විලසකින්
රොන් උරා බී මල තලනා දුදනන්
වන්නට නම් නොවේ හද පාරමින්

වෙනස් වන පරිසරය තුළ වෙනස
නියත බව දැනෙනා ලෙස නිතින්
මත ගැටුම් ගැටලු ඇති තර්කයන්
ඇතිව ගිය සඳ නම් නොවැලකුමට

හමුවූ පිංබර සරසවි බිම තුළම
වෙන්වන්නට වන්නා අපූරුව
නොහැක ලැබුමට නුඹේ පෙම
වෙන්ව යමි මතු හමු නොවනට

කළ පිං මදිවාද ආලය ලබන්නට
කළ පව් වැඩිවිද ගැරහුම් ලබන්නට
කාලය නොමවේද ජය ලබන්නට
සිතකට හැකිවේද සැනසුම ලබන්නට


---රකිත---  


Friday, November 25, 2016

~~ මගේ පෙම ~~







කතා කරන නුඹේ දෙනුවන්
සිනාසෙන නුඹේ දෙනුවන්
දකින විටදී මගේ දෙනුවන්
මග හරින්නේ කෙසේදෝ සඟවන්

නුඹ දකින්නට කතා කරන්නට
දරපු වෑයම් නුඹ දනී නම්
නුඹත් නොදැනුව නුඹේ තතු මා
සේයූ හැටි නුඹ දනී නම්

උතුරා යන සෙනෙහසක්
ලියවී ඇත නුඹේ නමින්
එහෙත් කෙසේ කියන්නද
මා බැඳී ඇති බැමි තුළින්...


( පාරමී )


Thursday, November 24, 2016

~~ බලාපොරොත්තු ! ~~













අහස් කුස වසා ගත්
නිල් වළා වෙතින් එන
පුපුරුවන අකුණු
විදුලිය අතර
මිදී මිහිකත සිපින

පුංචි වැසි බින්දුවක
පැතුම් මෙන්
සිත පිරී ඇති සිහින
සැබෑ කරගන්න
භුමියේ තබා පය

මග නොදැන වල්මත්ව
මංමුලා වී සිටිය
මාරු කතර අද්දරව
දුටිමි කෙම්බිමක
දසුන් පෙළ

නියම මග නිවැරදිව
යන්නට ගමන
බලන සඳ
හරස්වී ඇතද අද
කාලයා මෙලෙසකට

නිම වෙනා වසත් කාලය
දැනේ ගතටම
නොවේ සිත වෙතට
තව දුරයි ගමන නම්
කළ යුතුව ඇත තරණය

කම් කටොලු බාධක
මැදින් සිහිනය වෙතට
ජයගන්නට පතන
නිමා නම් නොකරන්නෙමි
සිතේ දිරි ඇති තුරා

අදියර ඇත ඉතිරිව
ද්විත්වයක් පසු කරන්නට
දෙමවුපිය සහෝදර
සිහිනයන් ඉටු කරන්නට
මෙලෙසකට දැන්

දස වසක් පමාවී ඇත
නිසි මගක ගමනකට
දෙනු මැනවි සහයෝගයක්
සරදමකින් තොරව
සපුරන්න පැතුම් පොදි

---රකිත---




Monday, November 21, 2016

~~ වසන්තය ~~




හිරු රැසින් එලිය දෙන
තුරු ලතා මල් පුබුදුවන
මල් වැස්ස ඇද හැලෙන
පැමිණ ඇත වසන්තය

ඵල බරව අස්වනු ලබන
සිත්හි පෙම් මලින් පූදින
ලොවක් සුන්දර කරන
පැමිණ ඇත වසන්තය

ඉරට හඳට අත වනන
තරු වියන යට සිටින
සන්සුන් සිත පිරෙන
පැමිණ ඇත වසන්තය

දොම්නසද දුරු කරන
සොම්නසද ඇති කරන
විඩාපත් ගත සිත සනසන
පැමිණ ඇත වසන්තය

පටලා දෑත මුදු ලෙසින
සිටින මුවින් මුව බලන
සොඳුරු හැඟුමෙන් සිටින
පැමිණ ඇත වසන්තය

පෙම් බසින් මුමුණන්න
වදන් පෙළ අමුණන්න
සිහින ගෙත්තම් කරන
පැමිණ ඇත වසන්තය

නිසංසල දිනක ලඟ එන
පැතුම් පෙරුමන් පුරන
සොඳුරු අතිනත ගන්න
පැමිණ ඇත වසන්තය

නව ගමනක් අරඹන්න
සිහින සැබෑ කරගන්න
දිවියම සුන්දර වන්න
පැමිණ ඇත වසන්තය


---රකිත---


Thursday, November 17, 2016

~~ සිතිවිල්ලක් ? ~~


නිල් වළා රොද බඳින 
මද නලින් සිසිල් වන 
රිදී එලියෙන් දිලෙන
වැසි බින්දු ඇද වැටෙන  

නිමා කර රුදු ගිම්හාන 
වසත් කල එළඹෙන්න 
සිසිලසෙන් සනසවන 
සැබෑ කෙරුමට සිහින 

නිදි සුවයක් විඳිනට   
යහනේ තනි රැකුමට  
මුදු උණුසුම ලැබුමට 
සිත එයි වැසි අතරට 

නිල් අහස් වියන යට 
නව ලොවක් තැනුමට 
සුභ සිහින දකින්නට 
බලා සිට වැසි අද්දරට

අකුණු සැර වදින්නට 
සැඩ සුළඟ හමන්නට 
මැදින් ඒ බාධකයන්ට 
පතමින් ජය ලබන්නට   

වැඩක් ඇත ඉලක්කයකට  
ගමන ඇත දුරක් යන්නට
සොඳුරු වස්සානය අතරට 
කරමි අදිටන් ජය ලබන්නට 

---රකිත---   



Monday, November 14, 2016

~~ අහිමි සුපිරි සඳ ~~


















තරු වියන මුවා කර 
පොහෝ දින රෑ අහස 
සුපිරි සඳ බලන්නට 
නෙතු නොමැත 
පෙර පිනක් කර 
කිමද නුඹ 
වැසි කුමරියේ 
නපුරු වන්නට මෙසේ 

දිලෙන තාරකා රිදී 
අතර පෙනෙනා 
කුමරි සඳු 
ලඟින් සිට බලන්නට 
වරම් ලැබි කලක 
වසාලන්නට නුබ ගැබද 
කළු වළා විසුරුවා 
රුදුරු වෙසකින් 

පුපුරුවා අකුණු විදුලිය 
තුරු ලතා අඹරවන 
සැඩ සුළං රැලි 
මැදින් බිම හෙළන 
වැසි බිඳු සරින් 
නපුරු වන්නට 
කිමද මෙලෙසින් 
පවසන්න වැසි කුමරියේ 

සිසිල් සඳ කිරණ වැද 
සැනසෙන්න 
තුරුළුවී සඳ කුමරියට 
ලැබුණු වරමක් 
දශක ගණනකට පසු 
නැතිව සිත් පිත් 
උදුරා ගැනුමට රුදුරු 
කිමද  වැසි කුමරියේ 

දිවයිනේ එක් කොනක 
සුපැහැදිලි අහස යට 
තරු වියන පිරිවරා 
පැමිණි සුපිරි සඳ කුමරි 
යුමුහු කොට කැමරා නෙතින්  
ලැබූ රුව එවන්නේ මිතුරු 
ද්වි අංකනයෙන්
වෙතින් සයිබර් අවකාශ  

නරඹමින් රුව සඳ කුමරියේ 
කලකින් ලඟා වූ 
ලොවට අප සැනසුමට 
වරම් නැත දැකගන්න 
නෙතින් ඔබ රුව සැබෑ
පතන්නෙමි දිවි 
ඇතොත් 2034 වසර 
දකින්නට ඔබ නැවත  

පතමි ස්තුතිය හදවතින් 
රුව ලබා ගත් මිතුරු 
සහෝදර අද 
සුපිරි සඳ කුමරිගේ 
නොකරනු මැනවි 
නපුරුකම් මෙසේ 
වැසි කුමරියේ  
ලැබෙන මීලඟ වරම  

---රකිත---


Saturday, November 12, 2016

~~ සිතැත්තිය වෙත ~~



















කරමි ආරාධනා
දැනෙනා  තනිකම
ඇති රූබර
දඟකාර කටකාර   
කවිකාර
සිතැත්තියකට

පබැදුමට
නොව පමණක්
ගෙත්තමට
ජීවන කවිය
එක්ව සැමවිට
සිහිනයන් දකින්නට

හඹා යන්නට
කැප කෙරුමට
නොපතන
ධනය බලය රුව
එනමුදු පතන
සැබෑ ආදරය

අවසරයි පැමිණෙන්න
ලොවට මා සතු
දිනන්නට
නුඹේ හද මඬල
ගෙවන්නට
මුළු දිවිය සදාකල්

---රකිත---


Sunday, November 6, 2016

~~ සොඳුරු සරසවිය ~~



අහස් කුස අඳුරු වී කලු වළා නැගී එනා
අඳුරු වැසි බීරුමෙන් රිදී එලි වැටී එනා
සිසිල් මද නල මැද වැසි බිංදු බිම සිපිනා
සුන්දරයි සරසවිය සියල් සිත් සනසනා

නෙත ගැටෙන රසඳුන් නිමා නොවනා
තරුණ තරුණියන් නිති තුටින් සිටිනා
මිතුරු දම් සේම පෙම් දමින් බැඳෙනා
සුන්දරයි සරසවිය සියල් සිත් සනසනා

උගතුන් වියතුන් නිති දැනුමන් ලැබෙනා
නේක සිප් සතර නැණ නුවනින් පාදනා
දිනන්නට ලොවක් නිරතුරු සැරසෙනා  
සුන්දරයි සරසවිය සියල් සිත් සනසනා

විනෝදය සතුට සොම්නසින් පිරෙනා
සටන් විරු පිරි දොම්නසින් සැලෙනා
සහෝදර බැඳුමෙන එකට එක්වෙනා
සුන්දරයි සරසවිය සියල් සිත් සනසනා

නොලැබුනද සොඳුරු සරසවි වරම් වසනා
සති අගට එක් දිනක් ලැබුණි වරමක් සිනා
නිසි වයස් ගෙවුණු මුත් සිත් තුරුණු කරනා
සුන්දරයි සරසවිය සියල් සිත් සනසනා

පිං මද වුවද ලැබුමට පහසින් සුවෙනා
පතමි මතු භවක ලැබුමට සරසචි වරමා
උගනිමි වෙර දරා ලැබුමට ජය ගොසිනා
සුන්දරයි සරසවිය සියල් සිත් සනසනා


---රකිත---


Thursday, November 3, 2016

~~ රැයක් ? ~~



සරසවා රතින් නුබගැබ අවරගිර
සැඟව යන සයුරු මත රිවි මඬල
කපුටු රැල පියාසලනා කැදලි වෙත
වවුල් පෙළ ඇදෙන තුරු අතු අතර

ගල් වැලි ගඩොලු සිමෙන්තිය සැදි
වනය ඇත සිපින අහස් කුස මුදුනත
සඳ කිරණ තරු එලිය නොව එලිය
විදුලි එලි දිලේ නැසුමට කළුවරට

ද්විසක තුන්සක සිව්සක සයසක රිය
විටෙක යනෙන අටසක රිය යන්තර
සිත්පිත් නොමැතිව යන ඔබ මොබ
දල්වා පහනින් සැරිසරනා වනයක

නෑසෙන නිශාචර හඬ කිසිලෙසින්
ඇසේ යකඩ සතුන් හඬ විලසකින්
තේ කඩයද තරු පහේ හෝටලයද
සමාජ ශාලා තුළද ඇත නිසසරුන්

වීදි අද්දර වසන අඳුරට පෙම් බඳින
රස සොයන වරමක සලෙලු පතනා
ඉව කරමින් ඇදේ ගොදුරන් වෙතට
ලොල් නොව රසයට ලොල් මුදලට

විටෙක ඇසෙනා උස් සංගීත හඬ
නේක පැහැ ගත් විදුලි එලි සැර
සුවපහසු රථ මන්දිරද රස මසවුළු
අතර ඇත පැල්පතක කුසගිනිද

අට පැයක සේවයට මදිව අතිකාල
කළ දනෝ ඇදේ පත් වෙහෙසින
රැය මුරය වැඩ අරඹන කැල දනන්
දිගුය ඔවුනට දිනය වැඩ පිරි රැයේ

නොනිදනා අගනුවර නම් වනය
වෙනසක් නැත දහවලද සවසද
ගෙවෙන තුරු දිගු අඳුරු සමයක
සිටිමි විදුලි තරු පිරි නුදුටු රැයක

---රකිත---