Wednesday, May 24, 2023

~~ සැබෑවක් වූ ~~











ළමා කල නිමා වී 
තුරුණු විය ළඟා වී
ගෙවී ගොස් එයද 
අගට වූ වසන්තය වී

සවි ලැබූ පියාපත් 
සලාලා සියොත් කැල
හුන් කැදලි හැර ගොසින් 
නව කැදලි තන්නට

මුහුකුරා ගොසින් ඇති 
පියාපත් යුගල් ඇති
නුඹ තවම කිමද අද
කැදැල්ලට වී මව්පියන් හා

නොමැරී වුව දින දින පණ ලබා
හැඟුමන්ද තිබේ රැලි පිට රැලි නැගී
දරා යට කරමි ඒ හැඟුම් පෙළ
නොලැබෙනා සඳ වසන්තයකට

අහිමි වූ ධන බලය 
තෙද බලය ගත සවිය
නොවේ නම් කඩවසම් 
පෙනුමක්ද ලැබ ඇති 

නෙත ගැටෙන නේක වූ 
සොඳුරු දසුන් පිරිපුන්ව
මග හැර යන අයුරුද දකිමි 
ප්‍රතික්ෂේපය සුපුරුදුව ඇති

පමා වූ සිප් සතර නම්
නොවේ ඇති නිමාවක්
හංවඩු ගැසෙන විට සිතේ 
නූගතෙකු වූ විලසකින්

තත්ත්ව සහ කාර්යය 
මදිවාලු ආලය ලබන්නට
අවැසි දෑ බොහෝ ඇතිලු 
විය යුතුව ඇත සම්පූර්ණව

මා කුමක් නම් කරම්ද 
වසත් කල නිමා වී ඇතිලු
නර කෙසත් මතුව 
ලවනතත් වියැකි යන විලස   

කිසිවෙකුත් නොදකිනා 
කිසිවෙකුත් නොදනිනා
බොහෝ දෑ ඇති නොවෙද 
නුඹලාට නොදැනුනු ලෙසින්

--- රකිත ---   



Monday, May 8, 2023

~~ අවසන් ඇරයුමට ~~



මා නුඹට පෙම් බඳිමි හදවතින්
සඟවා මුළු ලොවකට ඒ පුවත
බොහෝ කල් ගතව හෙයින්
බලා සිටුමට නොමැත වරම්

අතීතය යට කරන් 
කාලයේ පස් යටට
අනාගතයක සිහිනයන් 
දකින්නට එක් විලස

පිටුපා ගොසින් අප
හිනැහෙනා ලොවට
පිය මනිමු සෙනෙහසින් 
අනාගත ලෝකය වෙතට

සකල දෑ නොවනා කලට 
පරිසමාප්තය ලෙසින්
නොවේ අප සැමද 
ඒ ලෙසින් සමන්විත

නිවැරදිව නිසි ලෙසට 
කළ යුතු දෑ සියල්
කුමට නම් වනු පමා 
එනු මැනවි මා වෙතට

අපට අප හිමි නොවූ 
අහිමි කම එහි තිබූ
කම් නොවේ තවත්  
මුසුප්පුව අප ලැබූ

ඉතිරි වූ දෑ රැගෙන 
ගොඩ නගා අපේ ලොව
සැනසෙන්න එනු මැනවි 
ආලයද රැගෙන අද

අවර ගිර ගිනි නැගෙන 
රිවි මඬල නික්ම යන
නරඹමුද අපිත් අද 
අත්වැල් බැඳන් සෙනහසින්

ලවනත රුවද වියැකෙමින් 
නික්මෙන්න මත්තෙන්
වරක් පවසනු මැනවි 
ආලයේ සොඳුරු වදන් පෙළ  

--- රකිත ---