Monday, July 16, 2018

~~ රැඩිකල් ( පෙම් ) සිතුවිලි ~~











දහසක් යනෙනා මහ
මග අද්දර සිට
අත් පටලා තුරුලුව
රිසි සේ සිප ගන්නට
නුඹ තොල් පෙති
මා දෙතොලින්
දනන් සිත් පුරවා
කෝපය ඊර්ෂ්‍යාවෙන්


කෙටියට සිරවී මතුවන
කෝමල රේඛා ගත
හඳවා පළඳා නේක
විලාසිතා ඇඳුමින්
උස් අඩි මිරිවැඩි
පච්චය ඉන පිටුපස
නුඹ හා එකතුව
එක මග යන්නට


සවස් කලක තනිව
පුද බිමක සිට
පෙමක නාමයෙන්
පිදුමට මල් පහන්
එක්ව යැදුමට බුදුන්
දෙවියන් ඉදිරියේ
කරවා කුපිත
සිල්වත් නොමිනිසුන්


පොදු බසයක දුම්රියක
නැග ගමනක යන
අවසන් අසුන මත හිඳ
වැළඳ නුඹ මුදුව
පටලවා අත් පා සිත්
ලෙසින් සිත් තැන
නොසලකා ඔරවා බිණින
ගස්සන දනන් සැම


ආලෝක වූ ලා එලි මතින්
මුවා වී ලොවට
සතර බිතු මැද යහනක
නුඹ හා තනිව සුවයෙන්
අපරිමිත කම් සැප ලබා
තුටු වන්න සෙනෙහසින්
කරවා සියල් සදාචාරය
ඉවතලා මදකට ඉතින්


නීති රීති තහංචි මුවා කර
සංස්කෘතිය වෙත
පෙම තහනම් මුදු ගස මුල
සුළු දිය පහ කරනු කම් නැති
නිවටුන් ලෙසින් සිටිනා
අය විරුවන් කරනා
කුමට මෙවන් දිවියක්
අප ගෙවන සැමා


ප්‍රේමය පිවිතුරුය සොමි
කිරණ සේ මුත්
රොන් බොනු බැරි
මලකින් ඵල නොමැති
ආලය පාප කරුමය ලෙස
දකිනා ජනතාව ඇති
රටක කුමට දිවි ගෙවමුද
සොඳුර සොඳුරිය අප


---රකිත---


No comments:

Post a Comment