Sunday, September 19, 2021

~~ ප්‍රිය භාරී ~~



සුළං රැළි කැටිව 
හමා විත් එක්ව
වතට වැටි කෙහෙ 
රැල්ලත් හැඩට ඇති

කරා පසෙකට 
වමතින් ඇඟිලි තුඩු
බලමි නුඹ වත දෙස 
සිනාවන් පිරි

අකුණු හෙණ හඬ 
ගුගුරා නුබ ගැබ
වැසි කුණාටු වන් 
ගැටුම් ඉක්බිති

රක්ත වර්ණිත 
නුඹේ දෑස් ඇති වත
බලා හිනැහී 
සනසවමි රිසි ලෙස

නොගැලපෙන 
ගැටෙන තතු ඇතිද
සැර මවා රැවුම් 
ගෙරවුම් මැදින් සිට

ගස්සා යන හැඩ බලා 
නාරි ගමනින්
නුඹේ සිතුවිලි රටා 
කියවමි හදවතින්

ගිණිය නොහැකි 
දහසකුත් ගැටලු මැද
පිවිසි සටනට 
ජීවිත ගමන යන කල

පීඩනය කම්කටොළු 
දරා නුඹ කතරෙ
ඒ දිරිය දකින්න්නෙමි 
නිහඬ වූ ඔබෙන්

රැළි පිටට රැළි නගින 
නොනවතින තාලයක
රතිය රඟනා කලට 
යහනතලා විඳි සැපය

සියල් සන්සුන් වූ සඳ 
අවසන් මොහොතක
හැඳිනියෙමි ගතින් 
මනසින් තුටුවී සිටි ඔබත්

දිනෙන් දින නොව පැරණි 
විටින් විට අලුත් වන
නුඹත් සමගින් තිබෙන 
ඒ සොඳුරු ආදර මහිම

කෝප බිණුමන් ගැටුම් 
ඇනුම් රැවුම් මැද වුවත්
සොඳුරු කම රැඳෙනු ඇත 
මතකයන් පෙළ සේම

---රකිත---




Friday, September 10, 2021

~~ රටක් තුළ ~~



සිත් පිත් නැති ලොවක සිට
සොයමින් මිනිසත් බවක්
රවටා ඇත සිතක් මායාවෙන්
නොරැඳි ගුණ දම් කියමින්

පාරම් බානා වදන් සැකෙවින්
සංස්කෘතිය සදාචාරය ආගමට
ජාතියලු රැකුම අභිමානය කියා
නොවේලු වෙන රටක් මේ සම

දුකම පමණක් වර නගන කල
කියා සැප විඳුම පවක් ලෙස
නිමල දහමක් කරන විකෘතිය
කරන උන් අද මුවා වී ආගමට

සූරා කා දනන් සොරකමින් මත්ව
අහිමි කර ඇත අප හ‍ට සියල් සැප
කර ණය කරුවන් මුළු ලොවටම
නූපන් පරපුර පවා තබා උගසට

තරුණ වැඩිහිටි සිතන නව කලාවට
තන්නට නව ලොවක් අප වෙත
තැනක් නැත ඔවුන් හ‍ට රටේ ඇති
කුහක පරපුර රජ කරන කල රිසිය 

සඟ වෙද ගුරු පාලකයන් එක්ව
රවටයි අප ඊනියා දේශප්‍රේමයෙන්
සාප ලත් යුගයක සාප ලත් රටක
ගෙවේ අප ජීවිතේ ඉසුරුමත් යුගය

කැප කරන හැටි රටට හොඳ හැටි
කියාවි උන් මුව රවුම් කරමින් මුසා
පටි තද විය යුත්තේ අප පමණක්ද
උන් විඳියි සියල් සැප උරුම වන අපට

අල්පේච්ඡතා කියන දුකට ඇති තව නමක්
දේශනා කරන හැටි රවටමින් මනු දනන්
මහා විහාර රජ මැඳුරු පමණද ඉදි විය යුතු
අපට අහිමිද ඒ ලොවක් කරුමයද ඒ ලැබෙන

උන් බණින බටහිරට යුරෝපය ආසියාවද
මිනිස් බව එහි ඇතිය කුහක කම් නොමැතිව
බොහෝ සැප විඳින ඔවුන් දැක කුහකයන්
සංස්කෘතිය ආගම ජාතිය වැර නගන හැටි

අපට අපි අහිමි වන තුරුණු කම වරදක් වන
නූතන වැඩිහිටි කමත් වරදක් ලෙස දකින
නව ලොවක් පැතුම වරදක් ලෙසින් කියන
කරුමයකි අප සිටින ඒ සොඳුරු රටක් තුළ

---රකිත---




Thursday, September 2, 2021

~~මත්තෙන්~~



වියමන් කළ අපේක්ෂාවක්
කලක් මුළුල්ලේ සිතමින්
හඹා ගිය යුගයක නිමාවක්
දකිමි සිට අද යථාවාදී ලෙස

සිතටත් ගතටත් නොදැනීම 
කාලයත් ගෙවිලා සෙමින්
සිහින දැකි රටාවට නොමැති
ඉටු නොවූ කිසිවක් ඇතිද

හමුවෙලා වෙන් වෙලා 
සිටින ඒ ඒ ගමන් මග
කුමට තව සොයා යම්ද
නොලැබෙනා අඩවියට

ඉතිරි කළ සිත් ලෙසින්
ඉතිරි වූ දෑ නොමැති අත
පැතූ දෑ ඉටු නොවන සඳ
ඵලක් නැත හඬා වැටුමට

කාලයා මුවාවට වී ඇතිව
තිබෙන කල් රැක ගන්න
අවැසි ඇත නික්මෙන්න
සොයා නව ලොවක් වෙත

අපට අප හමු නොවන කල
මටද මා හමු නොවූ කල
කල් මරනු කිම නික්මන්න
අවැසි තැන සොයා ඉගිලී

පෑව්වත් ඉර හඳ තරුද නුබ
අඳුර පමණක් උරුම වී නම්
නුඹ තවත් නම් රැඳෙනු කිම
අවසර ඇත අද නික්මී යන්න

අතීතය ගෙවී ගිය කලට
අවැසි නැත වන පසුතැවුම්
ලබන්නට වරමක් නැවුම්
තබනු පියවර පෙරට නිසි

නුඹට නුඹ නුඹම වන්නට ඇති
වරම් ඇති තැන සොයා යන්නට
ඉතින් දැන් අවසර ලැබෙනු ඇත
නුවණ වැඩ ගෙන සිතින් සවිබල

හමුවෙනා තැනක රිසි 
ඔබට ඔබ මටද මා ඇති
සොයා යමු ඒ නවාතැන
පිටුපා සිනාසෙන ලොවට

---රකිත---