Sunday, February 23, 2020

~~ දැවී නිවෙමි...ප්‍රේමයෙන් ~~




තරු කැකුළකින්.....පිපෙන්න.....
නුඹ එපා..... ඉඩ හොයන්න......
සිත් අහස් ගැබ..... පිරෙන්න.....
සඳ වියනකින්.....වඩින්න......

ගිනි සිළුවකින්.....දැවෙන්න.....
නුඹ එපා සැඩ.....මවන්න......
මට සුසුමකින්.....විඳින්න......
මල් සුවඳකින්.....එතෙන්න......

අර ඈතකින්......පෙනෙන්න......
එක හාදුවක්.....තියන්න......
හුරු උණුහුමක්......හොයන්න....
මට හැකියි දැන්.....මියෙන්න......

--- ස්වර්ණමාලි ---


Thursday, February 13, 2020

~~ ආදර සිහිනය ~~

    පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙනි



විකසිත රෝස කුසුමක් 
අත්ල මත තබා සුසිනිඳුව
ලා රෝස පාටට සරසාපු 
තිලිණයක් නුඹ වෙතට

තවරන්න දෙකොපුලේ 
මුදු හාදු කිහිපයෙන්
සුදු මුහුණ වන රෝස 
එකලකට දකින්නට

නා දළුව මත සෙමින් 
ගැඹුරු හාදුවක ඇරයුමින්
පියෙන නුඹ නෙතු පියන් 
මත සිහින දකින්නට

නුහුරු උණුසුමක තතු 
ගතට හිරිගඩු පිපෙන
වසන්තය ඇවිල්ලද 
පමා වී හෝ ලොවට

තුරු වියන කරන රුදු
රිවි කිරණ වන ඛණ්ඩිතව
සිසිල් මද පවන මැද 
නුඹේ නෙතු අද දකිමි

විහිදුවා කාන්තිය ගත 
ඡවි කල්‍යාණ බලයෙන්
දිගු වරලසක හැඩය 
පිරිමදිමි සෙනෙහසින්

ස්පර්ශිත සංවේදනය රැගෙන 
යන්නට ඉමිහිරි ලොවක
මකරන්දය නැගෙනු වස් 
බඹරිඳු වනන්නට මත්ව

නුරාවත් මුසුව ඇති මදක් 
දයාවෙන් සෙනෙහස පිරුණු
රකින්නට නුඹ නිතර 
පතමි මධු දින තුරාවට

විහාරය බෝමළුව ඇති 
රැගෙන නිරාමිස සුවය සිත
පල්ලියේ ගීතිකා සදන 
හදවතේ දෙව් ලොවක්

පතා නුඹ ප්‍රේමයක් 
භවයෙන් භවය සොයා යන
ආදරයේ දින මහිමයට 
නුඹට සුභ පතන්නෙමි   

---රකිත---


Monday, February 3, 2020

~~ කිරිල්ලියට ~~











වයමි වස්දඬුව වෙල් යාය 
සිසාරා නද දෙන්න
සියොතුනී අසාපන් 
සොයනු මැන ඇය කොතැන

අසා සවනට රැගෙන 
නාදයේ පෙම් තාල පෙළ
ගයාපන් ඇයට කවි 
කුටියෙ කවුළුව අසල සිට

ගම් දොරක සිරවුමක් 
අකැප බව සිත සිතා
සිදාදිය වෙත පියාසල 
කිරිල්ලිය සේ තුටින

සොයන්නට රන් කාසි 
නැණ නුවණ පාදන්න
සොයන්නෙමි නුඹ කොයිද 
නොවී අවනත හදට

මා නොදුටු ලොව දකින 
නුඹේ සිත චංචල වේද
නුදුටු ලොව සැරිසරන්නට 
පියාපත් මදි වේද

විඳින්නට සුවය නගරයක 
ඇති විසිතුරු ලෙසක
අමතකවත් වූවාද උපන් 
ගම නුඹ පෙම රැඳුනු

ඉඳ හිටත් කළ කතා බස් නම් 
නෑසෙනා කළ දුරකථනයෙන්
නමත් වෙනස් අවහිරත් වෙලා ඇති 
මුහුණු පොත් ගිණුම නම්

එදා හැඩත් නම් නොවේ මෙදා 
නම් සිදාදියේ ලත් පුරුදු වෙතේ
නුඹත් ඉතින් හැර ගියා නොවේදෝ 
ගමෙන් ලැබූ පෙම් පහස මෙදා

සඳ පහන් රැයක 
තරු වියන යට සොඳුරු කම
අහස් කුස සිසාරන 
ගොඩනැගිලි පරදවන

සිව් සකද හිමිකාර 
උගත් කඩවසම් ඔහු 
වේද නුඹ හිමි කාර 
කුමරු හද වෙත රැඳුනු

දැන උගත් නැණවත්ව 
ඉහළ වැජඹෙනා කල
මදක් මතකය රැගෙන 
එන්න ගම වෙත නැවත

හිමි අහිමි බව දැනෙන 
සිතක් සනසාලන්න
බලා සිටිමි වෙල් යාය 
අසබඩත් එදා මෙන් 

---රකිත---