Wednesday, September 25, 2019

~~ වැසි - මතින් ~~
















ඉඳ හිටක නොව නිතර 
දැනෙන ගත පුරාවට
නුහුරු උණුසුමක තතු 
සිහින එක් වී දකින

සිත පුරා රැඳී ඇති සේම 
හද පුරා දැනී එන
සොඳුරු හැඟුමන් අතර 
මදක් තනිවන්න සිට

ඇද හැලෙන මල් වරුසාව 
ගෙනෙන සිසිලස අතර
වස්සානයේ මල් පිදෙනා 
තුරුණු ජව ලැබ ගතින්

යහන තනි නොවනා 
ලෙසින් දුර තව නොසිට
කුමරියේ වන්නට තුරුලට 
ප්‍රේමයේ නාමයෙන්

ගගන තල ගුගුරුවා 
විහිදි අකුණු එලි මතින්
අඩ අඳුර තුළ නැගෙන 
රැළි පිට රැළි සෙයින්

මුහු කරන්නට තුරුණු කම 
සිහින් හඬ නැගෙනා රැයේ
තරගයක් නොවේ නම්
සොඳුරු ක්‍රීඩාවකි එක්වෙනා

සිසිලසින් විඳි උණුසුමක 
මහිමය ගත සිත පුරා
නොවන්නට අවදිව 
සිහිනයෙන් සුසැදේනා

වසන්තය අග වුව 
ගිම්හානයේ අභිමුවක සිට
වැසි වැටෙන රැයක තතු 
ගොතමි කවි කුටියෙ සිට

---රකිත---






Monday, September 16, 2019

~~ දැනීම ~~











යකඩ ඇතු 
සිය දළ තලින්
කරන තූ තූ 
කොට තුරු ලතා
වුවන මත ගැටි 
තලය වානේ
කපා හෙලා 
බිමට කේෂය

පෙනේ කැඩපත 
රුවක් වුවනේ
පහන් එලියෙන් 
විසුරුවා මුව
සිනා නොම නැති 
හැඟුම් රහිතව
බලා සිට නැති 
ලොවක් දකිමින්

කැපී වැටෙනා කෙස් 
ගස් අතර රැඳි
නර කෙසක් බැලුමට 
නොහැකි සඳ
සුසුම් පමණකි 
සිත ඉතිරි වන්නට
පෙනේ අනියත 
ලොවට උරුමැති

එදා සිටි රුව 
මෙදා නොමැතිව
සිතින් පමණක් 
තුරුණු වන්නට
පමා වන්නට 
වරම් නැති කල
සිහින පමණකි 
එදා මැව් ලොව

තනිව ඉපදී 
තනිව මග තොට
මාපියන් සොයුරන් 
පමණ සිටි
දිනක නිමවන 
ලොවක තතු දැන
සෙවුම් කුමකට 
විසූක දස්සන

ගෙවා මිල අහිමි 
රැවුල් කෙස් ගස්
දොරින් එලි බට 
කලක මග වෙත
දැනේ තනිකම් 
අනියතක සඟවා
මෙනෙහි කෙරුමට 
සසර දුක් කඳ

---රකිත---  


Wednesday, September 4, 2019

~~ සොඳුරු මිතුරියට පෙම ~~



බෙදා කා එක පතෙන් 
එකම පන්තියේ සිට
එකම පැන්සල කර දෙකඩ 
අකුරු කළ නුඹ සමග

කෙළි දෙලෙන් පසුව එක 
සොයුරු සොයුරියක් ලෙස
කාලයා පැන ගිහින් 
මතකයන් ඉතිරි කර අපට

ළමා විය ඉක්මවා 
තුරුණු විය පැමිණිලා 
එදා මෙන් මිතුදමද 
නොවෙනස්ව පැවතිලා

නිමාවන හිරිමල් තුරුණු 
විය අපටත් හොරා
එදා මැව් සිහිනයන් 
කුමකටද යැයි සිතා

මිහිර නුපුරුදු ලෙසට 
දැනේ නුඹ දකින කළ
වෙනසක් වේද හැඟුමන් 
පෙර ලෙසින් ඇති

කාලයා අවෑමෙන් 
පෙරළෙනා මිතුදමක් හද
ප්‍රේමයක් වන අයුරු 
දැනෙන හද පුරාවට

පෙර සේම නුඹ දකිමි 
හඬ අසමි සිත් සේම
ගිරවියක ලෙස කියවනා 
නුඹත් හරි හැඩකාර

සිතේ ඇති දහසකුත් 
දේම පවසන්න අද
බියක් ඇත අහිමි වෙද 
මිතුදම් රැකි කලක්

රකිනු වස් මිතුදම් 
කලක් තිස්සේ බැඳි
සඟවමි සිතක පතුලට 
ආල හැඟුමන් ඇති

දැන හැඳින නුඹ 
දිගු කලක සෙනෙහෙ රැඳි
සත්තකින් නුඹට 
මා පෙම් බඳිමි මිතුරියේ

---රකිත---