Wednesday, September 28, 2016

~~ කෙස් කැපුම ~~


යකඩ ඇත් රජ තියුණු තලෙන්
කපා දමනා ලෙසට මහා වනය
විදුලි යන්තර කැපුම් තලයෙන්
ඇදේ හිස මතින් කේශ අතරින්

කිරි කිරි හඬින් කැපී වැටෙනා
ශ්වේත පිරුවට මතට හැලෙනා
දුටිමි කළු කෙස් අතර සුදු කෙස්
වසන්තය මැදින් එන ගිම්හනයද

මද හසින් පිරි මුවින් කැරණවෑමි
පවසයි කෙස් මද බවක් හිස මැද
තුමු වුවන දකින සඳ කැඩපතින්
පලා යන තුරුණු කමද පරිණත

බිම සිපින කෙස් ගොන්න කළු සුදු
කල එළි වන හිස පිරිසිඳු පියකරු
දිගට කොටට කැපුමෙන් සුසැදෙන
සුවදෙයි හිසටද සිතටද මෙලෙසට

දිවියක අනියත කරවන මෙනෙහි
ගතවන කාලය වේගය පෙනෙනට
දුකද සැපද එක ලෙස සැම විඳුමට
උපමාවකි මනරම් කෙස් කැපුමද

---රකිත---


Tuesday, September 27, 2016

~~ සිදුවීම ? ~~



අට පැයක විඩාබර ගත සිත සනසන්න
උස් අසුන් ඇති බසයද මවයි සුව යහන
ඉඳගන්න හිස හොවා වී කවුළු අද්දරට
නරඹන්නට විසිතුරු දසුන් නෙතු අතර

ඉදිරි පසුපස දොරින් බසයටද ගොඩවන
නෙක රුවැති තරුණ තරුණියන් වැඩිහිටි
අතර දුටුවෙමි පසු දොරින් ගොඩවන කල
ස්ත්‍රී පරාණ රුවක් කිසි දිනක් හෝ නොදුටු

කාල වර්ණ ගත තරබාරුව වටකුරු ගතියට
දෑත් දෙපා ඒ සරිලන තරමට වැඩුනු කලකට
කළු නෙත් මුඛ පැතලි වුවන කෙස් විහිදෙන
ඇසුමෙන් ඇත ඇය හීසර මෙන් කට හඬන

පසු කරමින් එන ඉඩ ඇති ආසන ගණනින්
එන හැඩ දුටුවෙමි අසුනක් මා අසලින් ඇති
යන එනමක් නැති බේරුම් නැති වෙන මට
සිහිනය නිමාය ඇය අසලින් අසුන් ගත් සඳ

අත්පත් කර ඇය ඇසුනද තුනකින් දෙකකට
දෙපය වදින කල ගුලිවන්නෙමි ඒ කොනකට
දෑතින් තර කොට අල්ලා කවුළුව ඒ ලෙසකට
නොදනිමි කෙලෙසක සිටි හැඩ නම් ඒ විලසට

රිද්මය බස් රථ පැද්දෙන මත වේගය එහි ඇති
ගතටම බර වන ඇය දෑත් දෙපා කරුමය විහිදන
තැලෙන පෙළෙන සඳ කෝපය මුදු සිත දල්වන  
රත් යවටක් බඳු දෑසක් දෙස කෙලෙසක බලම්ද

විඳිනට මෙලෙසින් වදයක් දුරකට සැතපුම්
වදනක් කියනට සැරසෙන ඒ මොහොතින්
දුටිමි ඇයද මැදිවිය පසුකර ඇති මවකද සේ
කරබා සිටියෙමි බැස යනතුරු ඇය නැවතුම

රුව ඇති රුව නැති ඉපදෙන අප සැම දෙන
මිහිකත් මවගේ එක දරුවන් ලෙසම සැම
පහන් කරමි සිත අමතක කරමින් එලෙසට
හරිබරි ගැසුනෙමි නව දිනකට මෙලෙසට

---රකිත--- 


Monday, September 26, 2016

~~ උදෑසන අමුත්තිය ~~


පිංබරය සන්සුන් දෙනෙත් යුග
මදහසය රතුවන් දෙතොල් මත
දිගටි නාසය රෝස දෙකොපුල 
දිගුය කෙස් කළඹ රැළි ගැසුණු

රන්කුඹු පරදන පයෝධර යුවල
පුළුලුකුළ රිය සක පරදන මහිම
දිගු අත පය වටොර දැඟිලි යුතුව
දිලෙන මුළු ගත පැහැය ඇත් දළ

සැරසි මනරම් ඇඳුමින් පැළඳුමින්
පිවිසි සඳ පසුපස දොරටුවෙන් බස්
සියල් නෙතු යුග බැල්ම ඔබ වෙත
අවදි කරවයි ඔබ රුව නිදිබර සිත්

ස්පර්ශක තිර මත දිවෙන ඇඟිලි තුඩු
මුමුණන විට විට අත බනු වෙත මුදු
පිපෙන සිනා රැළි විහිදෙන කෙස් වැටි
පවසයි කිසිවෙකු හා පෙම් බස් ඇති

නොදනිමි නොදකිමි නිරතුරු ඔබ රුවද
මිනිස් වෙසින් ආ සුරඟනක් නොවේදෝ
පුබුදයි සිත ගත ඔබ රුව දැකුමෙන් නිති
දොඩමළු වන්නට සිත අයදියි ඈතක සිට

මද නල ඇදෙනා කවුළුව අද්දර සිට
සිහින දකින්නෙමි ඒ අද්දර නින්දක
ලැබුමට ඔබ වැනි සුන්දර යුවතියකද
විමසයි සිතිවිලි බස් නින්දක සොම්නස

නිදි නැති රැයකදි නිදි කුමරිය වන්නට
සිහිනයකද රැඳි ඒ කුමරියකද වන්නට
තනිකමකද රැඳි යහනේ සැතපෙන්නට
එනු මැන සොඳුරිය රැය විනිවිදලන්නට

හිමිදිරි උදයක සිත සැනසෙන්නට
බලාපොරොත්තුව ඉටුකරගන්නට
සුන්දර ඔබ රුව ආපසු දැකගන්නට
රැය ගෙවෙනා කල් බලාසිටින්නට

---රකිත---


Thursday, September 22, 2016

~~ හමුවන්න සන්නාලි යුවතිය ~~


වියමන් ගෙත්තම් කරනා
රන් දෑතක් දුටුවෙමි අද
මද හස රැඳි නීල වුවන
සනසයි ඒ වෙහෙසන සිත

අට පැයක විඩාපත් ගතට
අවුල් වියවුල් සිතට මුදු
සැනසුමක් ලබන්නට  
පුබුදුවන්නට හැඟුමන් සිත

තනිකමෙන් සිටින සඳ  
කිසිවෙකුත් නොමැති කල
අහඹු ලෙස මුණගැසුණු  
යුවතියේ කියනු නුඹ කවුද  

අධිවේගයේ බසය වායු සමන
වේග සුවය සිසිලට කාසි පනම්
පුළුස්සන නිරන්තර තුමුට ඔබ
හමුවුනු සැටි නොත්රේ විටක

සැන්දෑ කලක කලාපයෙන් පිටට
රෑන් රෑන් එන සොඳුරු කුමරියන්
අතර දකිමි නිරතුරු ඔබ රූපයද
බලා සිටියෙමි වදනක් දොඩන්නට

කිටි කිටියේ සිරව යන බාග බසයේ
ගනිමි උකුලට ඔබ අත් මල්ල සොඳිනා
මුවින් නොව නෙතු සරින් වදන් පිරූ
දුටිමි ඔබ දින ගණනක් තුරාවටද මම

මුමුණන්න වදනක් ඔබේ සවනට මුදු
පටලන්න දෑතක් ඔබේ අත් තල සමග
යන්නටද දුර ගමනක් ඔබ සමගින්ම
මවයි අද ලෝකයක් සිහිනයන් පිරුණු

දිනක හමුවන්න කලාපය පිටත සිට
සිටිනෙමි බලා දිනයක් උදාවන තුරු
සිහිනයෙන් හෝ පාව එනු මැන අද
නීල සොඳුරු සන්නාලි කුමරිය රැයේ

---රකිත---


Tuesday, September 20, 2016

~~ සෙනෙහස මවක ~~












නිදනු මැන පුතුනේ
තුරුළුවී ලැමට
වැළඳගමි නුඹ
දෑතින් වට කරමින්
තනමි නුඹට උණුසුම
පිරි කැදැල්ලක්
ලැබුමට මවු
සෙනෙහස සදාකල්

නොවනු ඇත
නපුරක් ඔබට කිසි දින
නොදෙන්නෙමි
වේදනා නුඹ වෙත
පුතුනි නුඹ
රකින්නෙමි නිරතුරුම
සුවෙන් නිදනු මැන
මවු තුරුලේ රැයේ

රැයේ නිදන පුතු
ඇකයේ සුවෙන් සතුටින්
දකින සිත මවු තුටින්
දරු සෙනෙහසින්
සිහිනෙන් හිනැහෙන
කිරි සුවඳ පිරි මුවින්
සුරඟනන් දුටුවේද
සිහින ලොව පුතු දකින

රිද්මයට හෙලන
මුදු හුස්මක සිනහවද
සනසවයි මව
වෙහෙසකර දිනක අග
හැඬුම් නැති මුදු
සිනහවෙන් පිරි සිහින ඇති
නිදන්න පුතුනි
මවු ලැම තුරුලේ තුටින්

පුතුනි බිය නොවනු මැන
හමන මද නල සරට
සිසිල ගෙන දෙයි පුතුට
මවු සෙනෙහසින් පිරි
වැලි තලෙන් පිරි වෙරළ
සිප ගන්න මුහුදු රළ
පිසලා හරිනු ඇත සියල්
දුක් කම් කටොළු

සැනසුමෙන් සුවෙන්
නිදනු මැන පුතුනි තුරුලේ
ලබමින් උණුසුමක් පිරි
මවු සෙනෙහසින් ලොව
සිහින ලොව සුරඟනන්
සිටිනු ඇත පුතු සමග
රකිනු මැන මා පුතු
දෙවියන් බුදුන් සැම කල

---රකිත---