Thursday, June 20, 2019

~~ පීතූ පාදන් නමාමී.... ~~





උදා තරුවක් ඇවිත් හෙමිහිට කඩා වැටෙනා ඉරක් ඇන්දම
තාම ගැස්සෙන ඇස් දෙකක් ඇත තාත්තා කොයි කොහෙද හොයලම 
ඈත හින්දා නොදැක හිටියත් දෝණි හඬනා කඳුලු ඔක්කොම
නුඹේ පිළිඹිබු රැඳුණු රුවමැයි ලොවේ මා ලද ලොකුම වත්කම

නුඹව දන්නා මා නොදන්නා නොයෙක් දන මුණ ගැහෙන දිනවල
ගමන් විලසින් පවා නුඹවැනි ලෙසින් මා ගැන දකින ඇස්වල
විස්ම විමසමි විස්මවන්නට තාත්තා ගැන මතක එක් කළ
මමත් වැඩිපුර නුඹව දුටුවේ අපි හිතෙන් පා තියපු තැන්වල

පිළිණ නොවුණත් සඳෙන් අරගෙන සඳේ සාවිය ගෙනත් දෙන්නට
තිලිණ නොවුවත් නිතින් මා ලද නුඹේ උරුමෙන් සතුටු වෙන්නට
උරණ නෑ තුන් හිතකවත් මම පැතුවෙ තිදෙනා ලඟින් ඉන්නට
සරණ නුඹ මිස කවුරු වූයෙද සිතින් දෝණිට දිරිය දෙන්නට

උපන් දා සිට දෑස හුරු වුණ කුරුළු සෙනෙහස් කැදැල්ලේ
බොහෝ දින දී නුඹව සෙව්වෙමි හඹා එන්නට නිදැල්ලේ
නුඹට පමණක් මිදෙන අගුලක් දමා තිබුණත් කඩුල්ලේ
නුඹ නොදන්නා හීන තිබුණා පියාපත් නැති තොටිල්ලේ

දෙපා වැරදූ උදෑසනකදි ජිවිතේ කහ ඉර උඩින්
වෙහෙස දුටුවෙමි නුඹත් උහුලපු මඳක් අඩවන් ඇස් අගින්
මලක් සේ නුඹ බලාගන්නට සිතා උන්නත් මෙත් සිතින්
කාටවත් නොකියාම රහසින් දිනක් නුඹ යන්නම ගිහින්

තනිව යුද වැද  දිනුම පැරදුම උහුලගමි දිවි මංසලේ
දිරිය වූ දියණියක වන්නෙමි අසිපතයි සෙනෙහස් බෙලේ
එලෙස වූවත් බිඳි සෙනේ සිත්  අකුණු සේ ඇදහැලි වෙලේ
නුඹේ උණුහුම සිහිවුණා මට ඒත් එන්නට හැකි නොවේ

දහස් බෝසත් උතුම් බුදුවන පොසොන් පොහෝ දින උදෑසනදී
සහස් පින් කෙත් පහළ වේවා පිතු සෙනේහෙන් සැදී පැහැදී
පෙරුම් සපුරණ තුරා බුදු වී ලොව්තුරා විවරණින් සුසැදී
රහල් පුතු සේ ලඟින් ඉන්නට ඉත සිතින් පිතු දෙපා නමදී

--- තිලිණි ස්වර්ණමාලි ---


~~ ඉතින්..උඹ ගියායින් පසු....~~
















ජීවිතේ නම් ඔන්න 
ඔහේ ගෙවුණා..
ලැජ්ජා නැති හදවත..
තවමත් ඒ ආදරේ හෙව්වා......
කොතැනවත් 
උඹ නැතැයි  දැණුනම,
හීනෙනුත් මට 
උඹම පෙනුනා..

උඹව මතකයෙන් 
ගලවා ගන්නට,
මාර ගේමක් 
මමත් දුන්නා... 
ලක්ෂ නම් මදි..
කෝටි වරක්ම 
මතකයේ උඹ 
උඩින් උන්නා...........

අනේ  මන්දා....
කොහොම 
උඹ නම් 
එහෙම උන්නා ද කියලා..
මං නැතුව උඹ ඉන්නෙ නෑ 
කිව් හැටි 
තවත් මාගේ 
හිතම කිව්වා...

මැරීගෙන පෙම් 
කලේ මම 
එක වරක් 
පමණක් හින්දා......
හීන වෙනුවෙන් 
වෙන රුවක් මට 
මවා ගන්නට 
බැරුව උන් දා.....

කෙටිම 
කෙටියෙන් 
මේ අකුරු 
බන්දා,
පරණ මතකය 
අලුත් කරමින් 
නෙතු කවුළු 
තව වරක් බින්දා,

පරණ පණිවුඩ 
තාම මැකුනේ 
නෑනේ මතකේ.... 
පපුව හීරෙන 
සද්දෙ දන්නැති 
උඹේ ගල් හිත 
තමයි කරුමේ...

නොගැළපෙන තැන් 
ගළපගන්නට 
තනියමයි මම 
එදත් හැපුනේ...
නොකිව්වට බං 
මමත් යන තැන 
උඹ ම ගැනමයි 
අදත් හිතුවේ.

ළගින් හිටියට 
වඩා මම දැන් 
උඹට ලෙංගතු 
බවයි දැනුනේ...
අයිති කරගෙන 
උඩඟු වෙන්නට 
නෙමෙයි, සෙවනයි 
උඹට දුන්නේ.....

දකින හැම විට, 
මග-තොටේ වුව 
මගහැරිය බව 
මමයි දන්නේ.
තිබ්බ ගිණි දළු 
එක්ක මම නම්, 
දැවුනු බව 
උඹ තමයි දන්නේ..

ඒත්
මගෙ මේ 
හුස්ම 
ඇතුලේ,
මගේ 
සෙනෙහය 
නැහැනේ 
මැරුනේ...... 

---අමිල. කේ. අබේවික්‍රම--- 


Sunday, June 16, 2019

~~අප්පච්චී~~
















නොදරත් දස මසක් 
කුස හොවා සිට
ක්ෂීර නොවුන මුත් 
ගත රුහිරු පන
රළු පරළු සේ හැඟී 
මතු පිට අදරින්
මනු දන නොදුටු 
පිය සෙනෙහස වදනින්

නීති රීති බැණුමන් 
සවන් පිරි
සති අග පන්තිය 
ඔහු කරනා ගණිතය
ඉංගිරිසිය කියවන 
සැටි උගනින
ද්වේෂය පිරි ඇති 
අප සිත ඒ දිනවල

වදනට වදනින් 
පිළිතුරු දී තද
සැර වන්නට පසු 
නොබසින ඔහු වෙත
පහරට රැවුමෙන් 
දත්මිටි කා ගෙන
ඉවසා සිට 
ඔහු කියනා දේ අප 

කල් ගත වී 
වැඩිහිටි වන විට අප
නොදැනුනු දෑ 
වැටහී යන කල ඇති
මුහුදින් එතෙරව 
පියඹා ඔහු ගොස්
රන් මසු සෙවුමට 
අප සැම රැකුමට

රෝ බිය පිළිකා 
ඔහු වැළඳී ඇති
කල් නැති බව දැනි 
මවු රට ආ විට
බෙහෙතින් හේතින් 
හෝ ගැලවුම නැති
ඔහු සමුගත් අප 
තනිකර මේ ලොව 

අවැසි කල අහිමි වූ 
එකලට නොදැනී
දැරූ දහස් බාධක 
අද විඳිනා කල
තොර වූ ලොවක සිට 
ඔබගෙන් තනිවී
දෙව්ලොව සිට 
අසිරි පතනුය පියාණෙනී

---රකිත--- 




Thursday, June 6, 2019

~~ දෙමහල්ලෝ ~~


කිහිප දොහකින් කතවක් නැත 
ලොකු පුතා කොයිබද ගිහින්
මද්දුමයා ගැනත් ආරංචි නැත 
උන්දෑ කොයිද කියාපන්

බාල එකී දීග ගොසින් දැන් 
පෝය හත අටක් ගෙවිලා ඇතිය
දරු පැටවු ටික නැත්තේ ඇයි 
කියපන් දරුවන්ගේ අම්මේ 

මතක නැතිවාද අප්පච්චියේ 
දරුවන්ගේ වතගොත කදිම
ලොකු එකා ඒරෝප්පේ ගොහින් 
පොඩි එකීගේ මඟුලට පස්සේ

මද්දුමයා සිදාදියේ නැවතීලා
ලොකු පුටුවකට අරක්ගෙන ඇතිලු
උන්දා ගැනත් කියයි කයි කතන්දර 
ගංගොඩේ උන් එක් රොක්ව 

බැහැ දකින්නට අම්මා අප්පා 
උන් හදා වදාපු දහ දුක් විඳලා
එන්නට හිතක් වත් නැද්ද 
පොඩි එකීටවත් දකින්නට අපි

කොහොමදෑ ඒකි එන්නේ
අප්පච්චියේ පිං ඇති
ගේ දොර හදනවාලු 
අලුතින්ම සිදාදිය කොනක 

ලොක්කා මද්දුමයා ඉතින් දැන් 
උන්ගේම ලෝකවල නොවෙද
පොඩි එකීත් ටික දොහකින් 
අම්මෙක් වේවි නොව දරු පැටියෙකුගෙ

දරුවන්ගේ අම්මේ අපි දෙන්නා 
තනි වුනා නොවෙද ආපහු
දරුවොත් අපි අත්හැරලා 
ගොසින්දෝ සිතේ කහටින්

නැහැ අප්පච්චියේ උන් ගියා 
උන්ට අයිති ලෝකය හොයන්
කහටක් කොයිද කැවුත්තේ 
අපේ ලේ නොව උන්ගේත් දුවන්නේ

හිතත් පොඩ්ඩක් රිදුනා නොව 
පාළුව කාන්සිය දැනෙනකොට
මතක ඇති නොවේදෝ හාමිනේ 
දරුවන් හඬ පිරුනු ගේ දොර

සුදු මහත්තයෝ මොකෑ නොව 
අමතක වන්නේ පොඩි එවුන්
උන් හැදුනේ අපෙ උකුලෙ නොව 
දෙපයින් නැගෙනා තුරාවට

කඳුළු කැට නොදැක්කා නොවේ 
ඇහේ පිරි මහත්තයෝ මගේ
මගෙත් ඇස් ගෙඩි තෙමෙනවා 
උන් මතක් වෙනකොට නිතර

අනියතයි ජීවිතය අප වේවි 
මතකයක් පමණක් දිනක
සුදු හාමිනේ එන්න 
එකට මල් පුදන්නට යන්න

මතු භවයෙ හමුවෙන්න 
නිවන් මග එකටම යන්න
පිං කරමු ඉතින් අපි 
පරලොව මතු ජයගන්න

---රකිත---


Sunday, June 2, 2019

~~ මතක සිතුවම් ~~



විඩාබර සවස් කල එදා 
අමතර පන්තියට
නෙතු බැඳුනු අප සැමට 
රුව පිරුණු යුවතියට

හද රැඳුනු නුඹේ රුව 
අමතක නොවන කිසි දිනක
කල් ගතව ඇති වුවද 
මැවේ ඉඳ හිට නෙතු මතට

කඩවසම් ඔහු අත ගෙන 
කදිම එන පන්තියට විගස
වරම් නැති අයවලුන් 
සුසුම් පමණකි ඉතිරි

සිත යටින් පෙළු ඉරිසියාවෙන් 
ඔමරි පෑ මිතුරියන්
සියල්ලන් අද නොමැත 
බෙදී විසිරී ගොසින්

යනෙන කල මහ මගද 
ඔබත් ඔහු සමගිනා
වාසනාවන්ත නුඹ කියා 
අප සතුටින් සිතා

කල් ගතව නිමා විය 
පාසැල් වියද මෙලසිනා
එදා දුටු නුඹ දිනක 
දකින්නට පැතුමන් පතා 

ඇවෑමෙන් කාලයා කළ 
දිනක අගනගරයේ
දුටිමි නුඹ මහ මගක 
දියණියක අත අරන්

සිනාවෙන් දුටු සුපුරුදු වුවන 
හඳුනා ගතිමි ඇය
වෙනස් වී ඇති අයුරු 
අදහා නොගන්නට 

තරව ඇති මුත් ගතද 
රුවක නටඹුන් එහි ඇතිය
වරලස මදක් කෙටි වුවද 
නර කෙස් ඇත ඒ අතර

සිත මන් මත් කළ විලාසිතා 
නැත සියල් සරලව
අරුමය කිමද අතරමං විය 
පෙර දින මතක සයුරක

දොඩන්නට වදනක් ඇය සමග 
එදා පෙරුමන් පුරා
නොහැකි විය වසර ගණනටම 
දුරස් වී ඇති නිසා

ආ ගිය දෑ පැරණි මතකයන් 
අවදි කරවන කතා 
ඇයත් අසා සිටියා 
දෑස දල්වා මුව අයා 

වේලී සිටි මුත් ප්‍රේමයෙන් 
ඔහු හැර ගොස්ය ඇය
දරුවා සමග සිට තනිව 
දැන් වසර ගණනක්ලු

ප්‍රේමය අයැද සිටි උන් නැතිලු 
අවැසි නුරාව පමණලු
තනිකඩව ඇය සිටින 
දෙමාපිය ඇසුරේය

වයසට ගොසින්ලු දැන් 
එදා මෙන් නොවේ අද
වගකීම ඉහළින්ම 
දියණියක් නිසාවෙන්

හමුවේද නැවත අප 
ඇය නොදේ පිළිතුරක්
දුරකථන අංකය දීගන්න 
බැරි වුනා නොව ඇයට

පෙර කල දුටු රුව 
ඇඳි හද තුළ තුමු
රහසින් පෙම් බැඳි 
නුඹ වෙත සිතකින්

මතු දින ආපසු 
හමුවන විලසින්
මතකය සිතුවම් 
කරනෙමි නුඹ සමගින්

---රකිත---