Tuesday, October 27, 2015

මගේ දිවිය My Life




අරුණ නැගුමට පෙර අවදිව සිට 
දත කට මැද මුව දොවා ස්නානයට 
එක් හෝරාවකින් දෙවේලක් පිසුමට 
සැරසෙයි තවත් එක් දිනක් අරඹන්නට 

අත් දිගට ඇති කමිස කලිසමට ඇඟලන්නට  
බඳ පටිය තද කර සුවඳ විලවුන් ඉහගන්නට 
ඔප දැමුණු පාවහන් පාද ජාලා මතින් පළඳින්නට 
සැරසෙන්න දුම්රියට බසයට දැන්ම දුවන්නට

අසුන් ලත් සැණින් ඇස් පියව යති නිදිමතට 
විවරවන්නේ දෑස ලඟ ලඟම එන අගනුවරට 
නොදකිමින් කිසිවෙකුත් කතා නැති කිසිවෙකුට 
දුවන්නේ ඒ සැණින් වැඩට කන්තෝරුවට

රාජකාරිය ඇත පැය අටට වැඩියෙන්ම 
විහිලු අපහාසයන් ඇත ඊට වැඩියෙන්ම 
පුළුස්සමි ගත රුධිර සෑම විට වැඩියෙන්ම 
ගැටලු නම් ඒමට ඇත මේ සැමට වැඩියෙන්ම

දිනය අවසානයේ නිමා වන සේවයේ 
සුපුරුදු නින්දම දමයි බසයේද දුම්රියේ
නිවස වෙතපැමිණි සඳ ලබයි ස්නානයේ
පසුව තනිවේය මම සයිබර් අවකාශයේ

පස් දිනක් වැය කරමි රාජකාරි අඩු පඩියට 
එක් දිනක් වැය කරමි අධ්‍යාපන සරසවියට 
එක් දිනක් වැය කරමි නිදියන්න යහනට 
එක් දිනක් හෝ නොමැත සිතක් සැනසෙන්නට  

ගෙවනු කැමතිය එක් දිනක් සහෝදරයන් සමග 
ගෙවනු කැමතිය එක් දිනක් ආදර අම්මා සමග 
ගෙවනු කැමතිය එක් දිනක් පෙම්වතියක් සමග 
ගෙවනු කැමතිය ජීවිතයක් මහා සැනසුම සමග 

---රකිත---    



Wednesday, October 21, 2015

8 සමත් ඔහු / ඇය නොකී කවිය


ඉපදුනේ මවු කුසිනි 
නුඹලා මෙන් මමද 
හැදී වැඩුනේ මම 
නුඹලා මෙන් භූමියේද 
සිප් සතර ලැබුමට 
වියතෙකු නොවූ මමද 
තලනු පෙළනු කිමද මා 
උගතුන් වූ නුඹලාද  

නුඹ යනෙන මහ පාර
නුඹ යනෙන පාසල්ද 
නුඹ යනෙන සරසවිය  
නුඹ යනෙන කන්තෝරු
ගොඩ නැගුව කවුරුන්ද 
ලොක්කන් නොව අපද 
ලේ දහදිය කඳුළු මතින් 
වරම් නොලැබෙන බවද

දිනපතා නුඹ යනෙන ඔබ  
රථය එකලස් කළේ අප 
දිනපතා නුඹ යනෙන බස් 
දුම්රියේ වැඩ කළේ අප 
සුපිරි කන්තෝරුවේ 
වෙහෙස වෙන්නේ අපය 
ගෞරාවය පිළිගැනුම 
නොමැත්තේ ඒ නම් අපට

නුඹ අඳින ඇඟලුමද පාවහන් 
මසන්නේ අප සැමය  
නුඹ පැළඳි අභරණ නේක දෑ
තනන්නේ අප සැමය 
සුපිරි සුඛ විහරණය පිළිගැනුම 
ලබන්නේ නුඹ නිසා අප සැම 
ලබන්නේ කවදාද සැනසුමක් 
දුක් විඳින අප සැමද

එදා ඒ යුධ බිමේ රට රැකුම 
සිත දරා අප සැමද
අණ දුන්නේ නුඹලා මුත් 
සටන් වැදුන අප සැමද 
රුධිරය හෙලා අත් පා පුදා  
දිවි පිදූ අප සැමද
ගොඩබිමද මහ සයුර නිල් 
අහස රැක දුනි ලක් මෑණි වෙත   

දියුණුවට රට සංවර්ධනය නැගුමට
ශ්‍රමය පුද දෙන අප වෙතට ඔබ 
කියන්නේ කට කොනින් ඇද කර
අට පාස් මුන් කුමට කාලකන්ණියන් 
බුදිමින් අප වවන දෑ රසට  
තවත් එක් ජීවියෙකු කියයි 
මුන්ට සුදුසු වැසිකිලි සේදීම පමණි 
උගතෙකු ලෙස තප්පුලමින්

නෝනාවරුනි මහතුනි අසනු මැන  
ලොව අයිති උගතුන්ට පමණක්ද 
අප ශ්‍රමයෙන් නොවේද ලොව 
රැකෙන්නේ මෙලෙස 
රතු කොඩිය ලෙළදෙන්න රතු මල් 
පිපෙන්නට හඬ නගන්නට 
සමරන්ට නුඹලාට මෝස්තරයට 
සැබෑ නිර්ධන පන්තිය අපය 

---රකිත---



Monday, October 19, 2015

???කවි නැත???වැඩ ඇත???


නිහඬව ඇත සිතිවිලි
නොනැගේ  නිමිත්තක් 
බැඳුමට කවි පදයක් 
කුමන අරුමද 
නිහඬ හදවත 
අද මෙලෙස සිටිනු 
යතුරු පුවරුව මත 
ඇඟිලි තුඩු නතරව ඇත 

තාලයක් නැත එලි සමය නැත 
රීතියක් නැත මාත්‍රා නැත
ගැලපුමක් නැත පද බෙදුම් නැත  
ව්‍යංගයක් නැත තේරුමක් නැත 
වෙර දරයි ගොතන්නට 
කවිපදය මෙවරත් 
වාරු නැත අදහස් නොඑයි 
සිත සිරව ඇත

නිදි බරව ඇති දෙනෙත 
පියව යයි එල්ලූ සඳ 
ඊයම් බරු මෙන් 
ඇත වනයි දෙව්දුව නිදි 
යහන මත වැටෙන්නට 
ගොතන්නට කවි තවත් 
නොහැකිය නිදන්නට යමි 
සිහින දැකුමට 
     
සමාවුව මැන 
සියල්ලන් හට 
රාජකාරිය වැඩිව 
ගොස් ඇත
ඉගෙනුම් වැඩද 
හිරව ඇත පෙළට 
කෙසේ නම් කවි පද 
බඳින්නද 

වේලාවක් කලාවක් 
එනු ඇතිය 
ලඟ ලඟම 
හිනැහෙන්න 
ගයන්නට ගීයක් 
ගොතන්නට කවි පද 
විරාමයක් ලබන්නට 
සැනසුමට    
  
---රකිත---


Thursday, October 15, 2015

Office අපේ Life එක Dream එක ?



 


නිමා වී ඇත සුවඳ 
විලවුන් බෝතලය අද 
නිමා වෙන්නට ලඟය 
හිස් ආලේපයද අද 
නිමා වී ඇත මුදල 
සුම්බිය තුළ තිබුණු අද
නිමා වෙන්නට ලඟය 
ගිණුමෙ සුළු මුදල අද

මාසයෙන් බාගයක් 
ගෙවෙන දින පහළොවට
නිමවෙයි හතරෙන් 
තුනක් සුළු වැටුපෙන් අතට 
මාසයේ ඉතිරි අඩ 
ගෙවෙන්නේ කෙලෙසද සිතට
කුමන අරුමද කිමද 
ලැබෙන තුරු වැටුපක් අතට  

අත් දිගට හැඩ කමිස ඇඳ 
හැඩ වැඩට කලිසමද පාවහන්ද 
කොණ්ඩා මොස්තරයද දමා
සුවඳ විලවුන් නහවා
බසයේද දුම්රියේද නැග 
එන්නේ සතුටු මුහුණක් මවා
විධායක නිලධාරීතුමා ගරු 
මුදල් නැති හිස් පසුම්බිය හා 

අයවලුන් දකින තුමු සිතයි 
ගරු මහතෙකු විලස 
යටි සිතින් හිනැහෙතියි
සැබෑ තතු දත්තෝ විලස 
සිහින පැතුමන් දකින 
ආලෝකයක් විලස 
බිඳී යයි සිතිවිල්ල 
අඳුරු නුබ ගැබ විලස   

ඇනුමන් බැනුමන් උපහාස 
අපහසද නොඅඩු 
දෙපැත්තෙන් තැලෙන්නේ 
වැඩ ගොන්නකද සිරව 
ගත වෙහෙස නොවන මුත් 
සිත වෙහෙස උපරිමට 
අනේ අපි අසරණයි 
මහතුනේ නුඹලා සේම  

ලොක්කන්ට ලොකු කුට්ටි 
පොඩ්ඩන්ට පොඩි කුට්ටි 
අප හැමට අන්තිමට 
ලැබෙන්නේ රොඩු කුට්ටි 
පතන හැම සුභ පැතුම් 
දකින හැම සුභ සිහින 
ඉටුවන්නේ කවදද 
මියෙනතුරු අප සැමද

සම අයිති රැක දෙන්න 
ලෙළදෙන්න රතු කොඩිය 
සම අයිති රැක දෙන්න
පිපෙන්නට රතු මල්ද 
සැනසෙන්න එක්ව සිට 
හිනැහෙන්න අපි සැවොම 
ජයගන්න ඒ දිනය 
ලඟ එන්නේ කවදාද 

---රකිත--- 




Monday, October 12, 2015

ආල සිත් දිනූ ඇයටමයි





ගෙවා ආ මග දුරය  
යෑමට ඇත තව දුරය 
සිහින හරි සුමිහිරිය  
සැබෑව හරිම කටුකය 
පැතුම් නම් සුන්දරය  
ඉටු නොව අසුන්දරය 
විඳිනු මෙම ආදරය  
වෙන් වීම නම් දුකය   

තනිව ආ ගමන දිවි  
තබන්නෙමි තිත මෙලෙස 
යුගලයෙන් ගමන දිවි 
අරඹන්නෙමි මෙලෙස
සැප තිබෙන කල සේම 
දුක ඇතිවු කල සේම 
රැඳී හින්දිනෙමු සොඳුර 
දෑත් බැඳ මෙලෙසම තුටින 

ධන බලය නිල බලය 
සදාකල් නම් නොමැත 
රුව පෙනුම ගත සවිය 
සදාකල් නම් නොමැත 
සිත සවිය වෙර වැඩුම 
සදාකල් නම් නොමැත 
හද පතුල ඇති ගැඹුරු 
සදා ප්‍රේමයක් ඇත 

හිනැහෙන්න හිරු සේම
මුදු වදන් පවසමින් 
බබළන්න සඳ සේම
දිවිය ආලෝක කරමින්   
දිලිසෙන්න තරු සේම
ලොවක් මුලු දිනවමින් 
ඇදී යන්න මද නල සේම
ආල සිත පුබුදමින්   

ඉතින් අත් ගනිමු අපි 
එක්ව යන දිවි ගමන 
පැරණි දුක් වේදනා 
කර දමා මතකයෙන් 
මේ ලෙස ඉවත
අඳුරු ආලෝක සහ 
සැප දුකද සමබරව 
විඳ ගනිමු මේ ලෙසට 
සදා ආලයෙන් බැඳී 

---රකිත---   

 


Thursday, October 8, 2015

සියලු මහාමාර්ග ඉදිකිරීම් සේවක සේවිකාවන් වෙත ලියමි


ගිනි ගහන මද්දහනේ චණ්ඩ රිවි කිරණ මැද 
වැඩ කෙරෙයි මහා පාරේ එක දිගට මට සුමට 
හඬ ඇසෙයි යන්තරෙන් තාර කැට තලන සඳ 
පැතිර එයි වළා දූලි හමන සුළඟට කරන මුසු  

පරණ මග පිස දමන උණු තාර වත්කරන අත 
ගල් කැබලි ගොඩ ගසන සමතලා කරන අත 
යකඩ ඇතු මෙහෙයවන බිම මැනුම් කරන අත
කඩිමුඩියෙ වැඩ කරන සියලු මිනිසුන්ගෙ අත 

නළලතින් රූරා හැලෙන දහදඩිය බින්දු පිස දමන 
දුහුවිල්ල කුණුද ඇති දහඩියෙන් පෙඟුණු ඇඳුම
දහවලට පමණක්ය බත බුදින විවේකය ලැබෙන 
රෑ වෙන්නෙ කීයටද යන්න අඹු දරුවො වෙත

දිනපතා ලැබගන්න වැඩ කුලිය පෝලිමට සිට
ගනිමි එය ගෙනයන්න හාල් පොල් දුරු මිරිස් 
දියණියද කුඩා පුතු සිහි වෙන්නේ ඔහු සිතට 
පොත පතද බූන්දිද රැගෙන යයි පැල්පත වෙතට 

මතක නැත කාලයක් නව ඇඟලුමක් මිලදී ගැනුණු
මතක නැත කාලයක් බඩු මුට්ටුවක් මිලදී ගැනුණු
මතක නැත කාලයක් නව නිවසක සිහින මැවුණු 
මතක නැත කාලයක් දිවි ගමන සැනසුමක් ලැබුණු

මහපාරේ වැඩබිමේ කම්මලේ ගොවිබිමේ වෙහෙස වෙන  
කන්තෝරු මේස ලඟ හිඳ ගෙනද දුක් විඳින වෙහෙස වෙන
දහඩියට කඳුලටද දුකට සැනසුම් ගෙනුමට වෙහෙස වෙන
පායන්නේ රතු ඉරක් කෙදිනටද සැබෑවට වෙහෙස වෙන

---රකිත---     

        

Tuesday, October 6, 2015

ඔබ නිසාමයි සොඳුරියේ



අහස හැඩයි රෑ තරු මල් පිපෙන විට  
පොළව හැඩයි තුරු වදුලෙන් දිලෙන විට  
සුළඟ හැඩයි සිලි සිලි නද ඇසෙන විට 
ලොවම හැඩයි ඔබ සමගින් සිටින විට 

ගමන සුන්දරයි ඔබ එහි සිටින විට 
සිහින සුන්දරයි ඔබ එහි සිටින විට 
දිවිය සුන්දරයි ඔබ එහි සිටින විට 
ලොවම සුන්දරයි ඔබ එහි සිටින විට

සැනසුම දැනෙයි ඔබ තුරුලේ සිටින විට 
ප්‍රේමය පිරෙයි ඔබ තුරුලේ සිටින විට 
පොපියයි හැඟුම් ඔබ තුරුලේ සිටින විට 
කවිපද ගෙතෙයි ඔබ තුරුලේ සිටින විට

නිමක් දකිමි තනි මග ගිය දිවි ගමනේ 
නිමක් දකිමි කෙම් බිම තුළ මරු කතරේ
නිමක් දකිමි සෝ සුසුමන් මින් මත්තේ 
නිමක් දකිමි රුදු  පාළුව රැඳී ජීවිතයේ  

පතමි තුති පුද මුලු හද පතුලෙන් ඔබට 
පතමි සුභ පැතුම් එක් සිතකින් ඔබට
පතමි එක් වන්න අතිනත ගෙන තුටින 
පතමි යන්නට එක්ව මේ සසර තුරාවට   

---රකිත---


Saturday, October 3, 2015

අවසන් ප්‍රථම සරසවි ආලය










හමුවේවි හෙට දිනත් සරසවියේ ඔබ සොඳුරු 
හිනැහේවි හෙට දිනත් මිතුරියක් සේ සොඳුරු
වැලපෙවී හෙට දිනත් හදවතින් ඒ සොඳුරු
සමුගනිමු හෙට දිනත් වියෝවෙන් වී සොඳුරු 


පිං බිමක් වූ කැලණි පුරවරේ හමුවී ලැබුණු
ආලයෙන් මැවූ සිහින සුන්ව යන සේ තුරුණු
ඉරු දිනට පමණක්ම ලැබෙන සරසවි වරම
තවත් එක් දිනක් වේ නිමා වෙන තුරු දෙසුම


කොටු අතර සැඟව ගිය ග්‍රහ තාරුකා අතර
සුභ නැකැත් වෙලාව නොතිබුනිද ඒ අතර
පෙළ ගැසුණු පොරොන්දම් නවංශක අතර
කිම්ද මේ සරදමක් සොඳුරු දෙසිතක් අතර 


පිටින් පිට යනෙන ඒ කෙටි පණිවුඩද නොමැත
දිගින් දිගටම ඇසෙන දුරකථන ඇමතුම් නොමැත
විටින් විට ගොතා දෙන පෙම් කවිය අද නොමැත
පෙළින් පෙළ මුදු වදන් මේ පටන් කිසිදා නොමැත


පුරුදු ලෙස පැමිණෙන්න සරසවිය හෙට දිනද
පුරුදු ලෙස උගනිමින් සිප් සතර හෙට දිනද          
පුරුදු ලෙස හිඳගනිමු  ගල් බංකුවේ හෙට දිනද          
පුරුදු ලෙස හිනැහෙන්න මිතුරියක හෙට දිනද


වරම් නොමැත ඔබ අත ගෙන දුර යන්නට
වරම් නොමැත ගැලපෙන්නට පොරොන්දමට
වරම් නොමැත විඳිනට ආදරයක් සරසවියට
වරම් නොමැත ලබන්නටද බිඳක් සොඳුරු මතකයට


අවසරයි සොඳුරියේ සමු දෙන්න ප්‍රථම හා අවසන් සරසවි ආලයට .......................................... !

---රකිත---



Thursday, October 1, 2015

වේලපත්කඩය aka කේන්දරය



කොටු අතර ගොඩ ගැසුණු 
ග්‍රහ තාරුකා සඳද
නැකැත් වේලා නැතිද
සුභ සිහින දකින්නට
උපන් කළ මවු කුසෙන්
සැදේ කොටු තුළ නිබඳ
පෙර කරපු කරුමයද
ලියයි පත්කඩය මත


අරඹන්න දිවි ගමන
සෑම විට හරස් වේ
සුභ අසුභ වෙලාව 
කලාවට නොදැක්වෙයි
වරදින්න වූ කලට
පිට පිටම කරන දෑ
අපලයක් සේ කියයි
මහ බරක් සිතට ගෙන


ඉගෙනුමද සැමවිට
නොපිහිටන කල සමව
ග්‍රහ දෝස නැගී එයි
පත්කඩේ කොනක සිට
පොතපතම නොව දැනුම
තවත් ඇත කාරණා
උපන් හැකියාව දැන්
යා යුත්තේ කොයිබටද


හාපුරා සැබෑවන පෙම්
තරඟයේ ජයද
එක් මොහොතකින් කරයි
නොගැලපෙන බවට සඳ
හත අටද පොරොන්දම්
මරකද බාධකද ලග්නයද
සුනුවිසුණු  කර දමයි
ආලයේ වසත් කල  


ගැටළු එයි පිට පිටම
සේවයේ යෙදෙන කළ
විසඳුමද ඇතිය මුත්
ඒ තුළම සැඟව ඇති
පත්කඩය සොයා යති
ග්‍රහ තාරකා වේලා අපල
ඇති බවට පවසමින්
අන්ධයෝ වී සිටිත්


උපන් දා සිට නිබඳ
මරු රැගෙන යන තුරුම
පසු පසම හඹා එයි
සෑමාදා සෑම විට කොටු
අතර හිරවෙච්ච ලග්නයන්
නැකත් ග්‍රහ තාරකා වේලාව
නුඹ නොවේද මගේ කරුමේ
ඉලව් වේලපත්කඩය 


---රකිත---