Saturday, June 18, 2022

~~ වැටහි යථා බව ~~




බොහෝ කල් ගතව ඇත
වෙනස් වී ඇත බොහෝ දෑ
සිරව එක් තැනක කලක්
දෑස් හැර බලමි ලොවක් දෙස

නොදැන ගිය කාලයට
මුවා වී වසත් කල
පැසෙන නර කෙස දකින
ලවනතත් වියැකි යන

පසු කරන් ගමන් මග පැමිණි
දුර ගොසින් අන් දනන් එහි
පමා වූ කල සැම දෙයට නිති
තරගයෙන් පැරද එහි

දහස් වදනින් කියන නේක දෑ
කෙසේ නම් කරම්ද වෙර නැතිව
ගැලපෙන නොගැලපෙන කමට
කෙසේ නම් ගනිම් අවදානමක්

එක් නිමේෂයක දැකි සිහින
බොඳව යන කලට සැම විට
වසත් කල කුමට එනු නම්
පමා වී වැඩි වූ දිනකදී

තත්ත්ව සහ කාර්යය දැකි ලොවට
මනුසත් කම් නම් කුමකටද
කාසි පනම් කළ නොහැකි කල
කුමට ගුණ දම් රකිනු අද

කළ කම් පල දෙනු ඇතැයි දෙසූ
දහම වලංගු මා හට පමණක්ද
සියල් අමන කම් කළ උන්ද
වැජඹෙනු කිම අදත් යහතින්

හුස්ම වැටෙනා කල් ඇතිව
හද ගැසෙන වාරයන් නිතර
වෙහෙස ගෙන දේ දෙනෙතටත්
ජීවන මඟ ලොව මැවූ තත්ත්වයක්

නවතින්න සිත් ඇතිය දිවෙනා තරගයෙන්
මුළු ලොවක් නැගුවා වුව දොසක්
ලොව සෑම දෙයට පොදු ඇති සීමාව
මට නොවෙද ඇති ජීවිත ගමනටත්

හැකියා මායිමේ නැවතුම ඇති
නොකළ හැකි දෑ නොකිරීම
රැකුමට ඇති අයිතියට හඬ නැගුම 
කියන් මට එය වරදක්ද

---රඛිත---