Monday, February 3, 2020

~~ කිරිල්ලියට ~~











වයමි වස්දඬුව වෙල් යාය 
සිසාරා නද දෙන්න
සියොතුනී අසාපන් 
සොයනු මැන ඇය කොතැන

අසා සවනට රැගෙන 
නාදයේ පෙම් තාල පෙළ
ගයාපන් ඇයට කවි 
කුටියෙ කවුළුව අසල සිට

ගම් දොරක සිරවුමක් 
අකැප බව සිත සිතා
සිදාදිය වෙත පියාසල 
කිරිල්ලිය සේ තුටින

සොයන්නට රන් කාසි 
නැණ නුවණ පාදන්න
සොයන්නෙමි නුඹ කොයිද 
නොවී අවනත හදට

මා නොදුටු ලොව දකින 
නුඹේ සිත චංචල වේද
නුදුටු ලොව සැරිසරන්නට 
පියාපත් මදි වේද

විඳින්නට සුවය නගරයක 
ඇති විසිතුරු ලෙසක
අමතකවත් වූවාද උපන් 
ගම නුඹ පෙම රැඳුනු

ඉඳ හිටත් කළ කතා බස් නම් 
නෑසෙනා කළ දුරකථනයෙන්
නමත් වෙනස් අවහිරත් වෙලා ඇති 
මුහුණු පොත් ගිණුම නම්

එදා හැඩත් නම් නොවේ මෙදා 
නම් සිදාදියේ ලත් පුරුදු වෙතේ
නුඹත් ඉතින් හැර ගියා නොවේදෝ 
ගමෙන් ලැබූ පෙම් පහස මෙදා

සඳ පහන් රැයක 
තරු වියන යට සොඳුරු කම
අහස් කුස සිසාරන 
ගොඩනැගිලි පරදවන

සිව් සකද හිමිකාර 
උගත් කඩවසම් ඔහු 
වේද නුඹ හිමි කාර 
කුමරු හද වෙත රැඳුනු

දැන උගත් නැණවත්ව 
ඉහළ වැජඹෙනා කල
මදක් මතකය රැගෙන 
එන්න ගම වෙත නැවත

හිමි අහිමි බව දැනෙන 
සිතක් සනසාලන්න
බලා සිටිමි වෙල් යාය 
අසබඩත් එදා මෙන් 

---රකිත---



No comments:

Post a Comment