Thursday, April 7, 2022

~~ අරගලය අවැසි කල ~~

 



කලක් නම් සිටියාලු 
දෙපිලටම රැවටිලා
දෙනෙත් අන්ධව සිටිය 
පක්ෂයට රැවටිලා

නොදැන නොදැක අවට 
දැනුනු සඳ සැබෑවක්
දෙනෙත් හැර දුටිමි අද 
සැබෑ ලොව පෙර නොදුටු

ඉන්ධනද එල් පී වායුවද 
ආහාර කිරිපිටි ඖෂධ අවැසි
නොමැත ඒ කිසිවකුත් 
අහවර වෙලා සෑම තැන

දකින පෝලිම් නිමක් නැති 
සෑම දේ නම් හිඟලු
ඉවසන්න පවසාවි උන් 
රටක් වෙනුවෙන් කියා

පිටපත් ගන්නා ලෙසින් 
සිත් සේ මුදල් මුද්‍රිතව
උද්ධමන අහසට නැගේ 
වැටුප් පත එක තැනම

වසංගත නිසා ලොව 
අපට පමණක් නොවේ බැරිකම්
උන් කියයි සිත් ලෙසින් 
හිනැහෙමින් ඔච්චමට

බෙදී වෙන් වී ගොසින් 
පක්ෂ පාට කුල මල ජාති භේදයන්
ලැබී ඇතුවාද සම්පත් 
නුඹලා සැමදා පැතූ 

දින දිනම ඇද වැටී 
රටක් යන අගාධය වෙත
උන් හටත් ඇත වරම් 
ලොව පුරා පැන යන්න 

තව කුමට ඉවසමුද 
සොරා කන උන් කලට
නිදහසින් ලැබූ අප 
ලැබුවාද නිදහසක්

අරගලය ගොඩ නගමු 
නිවස තුළ ප්‍රථමයෙන්
අසල්වැසි අවට නම් 
ගොඩ නගමු දෙවනුවට

තෙවනුවට ගම් දනව් 
නගරයන් සිසාරා
රැල්ල පෙරළිය කරමු 
මගට බැස අරගලෙන්   

සඟ වෙද ගුරු ගොවි කම්කරු 
රණවිරු පොලිස් සියල්ලන්
ලොකු තැන් පොඩි තැන් 
නොවෙනස්ව එකම රැලක් ලෙස

අරඹමු අරගලයක් නසා 
පන්නා දමන්නට සොර රැලක්
ගෙනෙමු නව නායක පරපුරක් 
මිනිසත් භාවයෙන් යුතුවට

මැඬලා බාධක සියල් පැමිණෙන 
නොසැලී එක්වෙමු තැනුමට නව ලොව
අරගල බිම සාමය පිරි බිම් කඩ වන
එක්වී අප සැම නව ගමනක් වෙත

---රකිත---



No comments:

Post a Comment