Tuesday, May 31, 2022

~~ සැනසුමක් නැති ~~

 



බොහෝ කල් දිවීමි 
සිහින පසුපස හඹා 
මග දිගු වනවා පමණි
එහි නැවතුමක් නැත

ගිමන් හැරුමට මදක් නැවතුමට
බැලූ කල සියල් හැල්මේ වේගයට
පසු කරන් මා ඉදිරියට යයි ඇදී
නැවතුමට ඉඩක් නැති බව කියා

හිස දරා ආතතිය ගත දරා වෙහෙසින්
ඉසිඹුවක් ලබන්නට සැනසුමක් මදක්
නැවතුමට සිත් දී තරගයෙන් ඉවත්ව
සිතුමට මතක් ආ ගමන් මග මෙතක්

සිප් සතර අසමත්ව පමා වූ විලස
රැකියාව එක් තැනක සිරව වූ ලෙස
මිල මුදල් ධන බලය නොමැතිව
එක් තැනක ඇත සිට තනිව ලොව

හිමි නොවන දෑ ඇතිය 
අහිමි වූ දෑ මහත්ය
කාලයා ගත වී ඇති සේය
එක් තැනක තනි වන්නටය

ඉතිරිව ඇත්තේ පවුල පමණකි
සවියට ඇත්තේ අද ඔවුන් පමණකි
යහළු යෙහෙළියන් අද කොහෙදෝ
සියල්ලන් ඇත ඔවුනොවුන්ගේ ලොවේ

යථා බව දරා සැබෑ ලොව දැක
වටහාගෙන ඇති තත්ත්වය ලැබූ
නිහඬවම වෙමි එක් පසෙකට
විසඳුමක් නොලැබෙනා සඳ

සිප් සතර අවසන් ඉලක්කය වූ
පැමිණ ඇත සියතට ගැනුමට
එය පමණි ඇත සැනසුම සිතට
අසාර්ථක වූ දිවියක කතාවට

තරගයේ නෙත් අඳ වූවා සේ
අවැසි නැත දිවුමට මින් පසු
මිරිඟුවක් සේ හැඟෙනා දිවියක
කුමට නම් ඇතිද තරගයක්

නිමා වූ දිනක සිප් සතර ඇති
අවැසි නැත ව්‍යාජයන් ලොව
සැනසුමක් සොයා දිවියේ ඉතිරියට
ගමන් කරමි යථා බව සොයාගෙන

---රඛිත---


No comments:

Post a Comment