Wednesday, September 14, 2022

~~ තෙහෙට්ටුව ~~

 



පුරා දශකයක් වඩා කලක්
එකම මග ගමන් ගත්තෙමි
දින සති මාස අවුරුදු ගණන්
ගෙවෙන බව නොදැනම තුමු

උගත්තෙමි ලැබගත්තෙමි බොහෝ
ශිල්ප ශාස්ත්‍ර අත්දැකීම් ගොන්නක්
වෘත්තීයභාවය නිතැතින්ම ලැබ ඇති
සුවිසල් ලොවක් මවා සිට සිත තුළ

කාලයාගේ අවෑමෙන් ගතට සිතටත්
වෙහෙසක් දැනෙන බව හැඟෙන කළ
යළි හැරී බලනු පිණිස කල් ගණින
ඵලක් නැති බව වටහා ගන්නෙමි නැවත

එක පිටට එක වැටෙන නිති නේක වැඩ
රාජකාරිය කියා පීඩනය ඇති උපරිමය
සීමාව ඉක්මවා පිනීමට ආසන්න ඇති
දරා ගැනුමත් ඉවසීමත් තමන් සතුවන

තුරුණු බව මැකී යන දින දිනම කල් ගතව
වුවද පරිණත බවත් එහි නොමැත බලයත්
වෙනසක් කෙරුම තැත් කළද විටෙකත්
නොවේ ඉන් පිළිතුරක් ගැටලු ඇත එලෙසින්

ක්‍රමවේද නොමැති කල නිසි ලෙසින් දක්වා
අවසාන ඵල ලබමි මානසිකව පීඩනයෙන්
පාලනය ගිලිහිලා හිසින් ගත වෙන් වූ විලස
අඳුරු වී යන කලට හාත් පස සියල් සිත්තම්

හැඟෙන දැනුනු විට පීඩනය ගත සිත දවන
රුචිය නම් හිමි නැතිය තවත් නම් සේවයට
හැර දා පලා යන්නට හැකි නම් මෙහි නොවී
සොයා සැනසුම සතුට නිදහස මුළු ලොවට

දොළොස් වසක සේවයට දැනේ වෙහෙසකර
නොහොඳ මිස නොව හොඳක් නම් අසන්නට
නව මං පෙත් සොයා පියඹා දොර හරින්නට
තෙහෙට්ටුයි දැන් ඉතින් කල් ඇතිව සමුගන්න 

---රකිත---




No comments:

Post a Comment