Monday, September 16, 2024

~~ 40 ට ~~




හිස් මුදුන් වෙත කලක පුන් සඳක් නැගෙනවා
කෙස් රැවුල් තැනින් තැන රිදී පැහැ දිලෙනවා
ගෙලේ නළලතේ රැලි හරි හෙමින් මතුවෙනා
කුමක්දෝ වෙනසකුත් ගත පුරාවට දැනෙනවා

වුවන පිරි තුරුණු කම ටික ටිකම මැකෙනවා
පරිණත වූ පෙනුමකුත් එහි නිතර මැවෙනවා
නෙතේ පෙනුමත් ටිකක් අවුල් බව දැනෙනවා
අරුමය කිමද ගතට ඇති මම තවත් සොයනවා

පිටි මුලින් පැමිණ ඇති වේදනාවන් දැනෙනවා
හන්දි පත් රුදාවත් වාත අමාරුවද පෙනෙනවා
දුව පැන ඇවිදුමට කඩිසර කමත් නොතිබෙනා
මහන්සිය කාන්සිය එක ලෙසින්මද ලැබෙනවා

බොහෝ රස මසවුළුද පාන පදමටත් තිබෙනවා
රස බලන්නට සිත් වුවත් රෝ බියත් දැනෙනවා
තිත්ත රස හරිත තේ ජලය සේ පවස අද නිවනවා
අහරට විනය පනවා ගත යුතුය දිවිය රැකගන්නවා

වරකට එක වැඩක් පමණි ඉන් මතුව නොකෙරෙනා
ආතතිය සිතේ බර හිස් රිදුමෙන් හොඳට දැනෙනවා
පවසනා දෑ වැටහුමත් දැන් පමා වන බව පෙනෙනවා
කුමක් නම් කරන්නද නිසි විසඳුමක් නම් නොපෙනෙනා

වන පොත් කරන දෑ නිතර මතකයට නොනැගෙනා
අධ්‍යයන ශාස්ත්‍ර දැනුම බාධාවක් ලෙසින් දැනෙනවා
සිප් සතරට යොමු කළ සිතත් වධයක්ව පෙනෙනවා
විවේකය සොයන ගත සිතට සැනසුමක් ගෙනෙනවා

සොඳුරු සිතුවිලි සිතට හැඟුමන් දැනෙනවා
නොලැබූ පහසක සුවඳක් හදවතින් විඳිනවා
සැබෑ ලොව පෙමක් සොයන්නට හිතෙනවා
දනන් දැකි ඒ ලොවද සරදමක්ව දැනෙනවා

පමා වූ වසන්තය සෙවුමත් පමාවක්ව දැනෙනවා
නොගැලපෙන බව කියන බොහෝ දනන් සිටිනවා
සොඳුරු වූ කුමරියන් සිහින ලොවට රජ කරනවා
දියණියන් ලෙස දැනුනු සඳ හැඟුම් මල් මැරෙනවා   

නිමා වූ වස්සනයක කෙළවර සිට බලනවා
නටබුන් වූ තුරුණු බව මතකයක රැඳෙනවා
මග හැරුනු තැනද සොයන්නට හිතෙනවා
ජීවිතයට මහ මගට රැකියාවටම දියවෙනා 

මහලු වන ගතක් තුළ තුරුණු සිත සිරවෙනා
ලොවට හොරැහින් සිටම කඳුළු බිඳු හලනවා
හිමි අහිමි දෑ දකින සඳ ජීවිතයටත් දැනෙනවා
හතළිහේ උපන්දිනයට විසි පහක සිත දැවෙනවා

-- එච්. එම්. ආර්. බී. රත්නායක --