Saturday, February 5, 2022

~~ එක් තැන්හි ~~





පොදි බැඳන් සිහින ගොන්නක් 
දරා සිත පැතුමන් රැසක්
පමා වී වුවද ලොව වෙතට 
පැමිණියෙමි දිවි ජය ලබන්නට

කළ නොකළ දෑ බොහොම 
කල් නොමැත ගණින්නට
රිය සකක් සේ ඇදේ 
ජීවිතය කාලය හා එක්ව

මා යන මගක මා පසු කරන් 
ගමනේ යන දනන්
ගත සවි නැති හැඟුම් පිරි 
නමුදු සිත දිරි ඇතිවාට

සිත් ලෙසින් කළ යුතු දෑ 
කෙරුමට නැති වරම්
ඉදින් තව කුමකටද 
දැකුමට විසූක දස්සන ලොවක්

දිවා රෑ නොදකිනා 
නොවෙනස්ව පෙනෙන කල
කිසිවෙකුත් හමු නොවන 
එක් මගක යන කලක

ජීවිතය නැවතිලා 
එක තැනක සිරවී ලොවක රැඳි
කාලයා ගෙවී යන අයුරුව 
බලමි සිත් ලෙසින් සිට

එකම වදනින් රැගෙන 
පෙරළා දමා සැම අතට
ලියන එක පද පෙළත් 
දැන් ඇතිවා නොවෙද මතු

සම හැඟුම් සිත් දරා 
හදවතක හිස් කමක් දැක
ඉදින් තව කුමකටද 
දොස් නගා අන් අය වෙතට

මටද මා හිමි නොවන 
රුදුරු ලොව දිවි ගෙවන
කිනම් සතුටක් ලබනු 
හිරිහැර දී අන් අය වෙතට

වෙහෙසක් නම් දැනේ 
ගත සිත පුරා එක ලෙසම
කුමක් නම් කරනු මා 
හිමි දෑද අහිමි වන කලට

දුර යන්න සිතුවාට 
කල් නොමැත ලැබුමට වරම්
නවතින්න කල් පැමිණ ඇත 
නොවෙද නුඹ හටත්

හිමි නොවන දෑ වෙතට 
නොවේ තව අසාවන් සිතා
එක් තැනක නවතින්න 
ඉතින් මට අවසර දෙන්න 

---රකිත---




No comments:

Post a Comment