Thursday, June 29, 2023

~~ රැයක සිත ~~




තරු එළිය තුරන් වූ 
අඳුරු ඇති නුබ ගැබත්
සුසුම් ලන මද නලින් 
සෙලවෙනා තුරු ලතා

ඉටු නොවූ පැතුමන් මතින් 
වේදනාවද රැගෙන එන
කෙලෙසකද කරනු 
මා රැය පහන් මේ ලෙසින්

ප්‍රිය වදන් ඒ කලක 
මුමුණමින් සවනතට
ලොවට බියවී සැඟවිලා 
රහසින්ම සිටියා වූද

මදහසින් නෙතු අගින් 
කියැවෙනා කතාවක්
අසා සිටි මොහොත 
නික්ම ගොස් කල් ගතව

නොකළ දෑ පමාවට 
නොවේ නම් කරුණු සමාවට
ආලයේ නාමයට වූවාද 
ගොසින් ඒ කලාවට

අත්හරින්නට වූ තැනක 
තදින් අල්ලා ගන්න
කිමද ඒ හේතුවක් 
අරමුණට නොයන්නට

හිස මතට පැටවෙනා 
බර දැනෙන විට හදට
නිදහසේ අරුමයක් 
නොදැනුනා නොවේ මට

දරා ගනු නොහැකි සඳ 
තබා ගනු කෙලෙසකද
හැර දමා ගොසින් ඇත 
දැන් බොහෝ කල් වැඩිය

ඉඳ හිටත් දැනෙන විට 
බුර බුරා නැගෙන කල
කරමි යටපත් හැඟුම් 
වැර වෑයමින් නිබඳවම

පිං මහිම අවැසිමය 
ලබන්න යම් වූ සැපත
හිමි අහිමි කම නොවෙද 
ඒ මඟුල් සක්වලත්

--- රකිත ---



No comments:

Post a Comment