Sunday, February 4, 2024

~~ සිතට දැනුනු කවි සීපද 3 ~~



කළු කෙසත් අතර නර කෙසත් දිලෙනවා
නර කෙසත් අතර කළු කෙසත් ගැලවිලා
හිස් මුදුන් මැදට දැන් පුන් සඳක් නැගෙනවා 
කුමන හෝ අරුමයක් බව ඉතින් දැනෙනවා

මුදු පෙනුම ඇති වුවන ලවනතත් මැකෙනවා
පරිණතව ගිය පෙනුම එහි ඉතින් මැවෙනවා
රැවුල් ගස් තැන් තැනින් සුදු වෙන්න හදනවා
පෙර පෙනුම අහිමි වන වගක් මට දැනෙනවා

ගිලී ගිය නෙතු සඟලෙ පෙනුම දැන් අඩුවෙනා
සවන් යුගලද ඉතින් ඇසෙන හඬ මදිවෙනා
රස නහර දැන් කොහෙද විඳීමක් නැතිවෙනා
වෙනස නැත ගඳ සුවඳ ඒ දෙකම දැනෙනවා

පිරිපුන්ව තිබූ ගත ටිකෙන් ටික වැහැරෙනා 
රැළි නගින ලෙස සයුර ගත රැළිද නැගෙන්නා
සිතක රැඳි දිරියත් දුබල ලෙසකට දැනෙන්නා
තෙදවත්ව ඇති පෙනුම වියපත්ව පෙනෙන්නා

කඩිසර කමද නොමැති බව නිතර සිතෙන්නා
නිදි සුවය නිති ලැබුම ගත නිතර සොයන්නා
සතර හන්දි නොව සියල් අස්ථින් රිදෙන්නා
වාරුව ගත රැඳි සවිය මා වෙතින් ගිලිහියන්නා

සිප් සතර නැණ නුවණ ගත් කදිම ලෙසින්නා
රැඳී ඇත තවමත් සිත් තුළ සොඳුරු ලෙසින්නා
කාලයා බැට දුන්න සිරුරද රකිනු ලෙසින්නා
බොහෝ දෑ කැප කරන්නට සිදුවන ලෙසින්නා

හැඟුමන් දැනුමන් නොඅඩුවම නිති තිබෙනවා
එනමුදු සිතට දියණියන් සේ ඔවුන් දැනෙනවා 
වියපත් වන ගත තුළට තුරුණු සිත සිරවෙනා
මටම මා හිමි නොවන වගක් දැන් දැනෙනවා

රසට කවි පද බැඳුම පෙර ලෙසම දැනෙනවා
ගද්‍ය පද්‍ය කලා රස ගිලිහෙන බවක් සිතෙනවා
සැපත නොව දුක පමණ සිතක් අද රැඳෙනවා
සිතින් පමණක් රසට ලොවක් මා මවනවා

තරගයේ දිවෙන්නට නොහැකි බව පෙනෙන්නා
තෙද තුරුණු අයවලුන් මා පසු කරන් දිවෙන්නා
ගත සිතද හදවතද වෙහෙස වූ වගක් දැනෙන්නා
මදක් නවතිනු වස් පසෙක දැන් මටත් සිතෙන්නා

දූපුතුන් ලෙසින් මා අන් සියල්ලන් දකිනවා
දිවි මගේ සන්ධ්‍යාව උදා වූ බවත් දැනෙනවා
අඳුරු වන අහස් කුස අනියත බවද කියනවා
කළ හොඳ පමණක්ම රැගෙන මා නික්මෙනා

--- එච්. එම්. ආර්. බී. රත්නායක -- 




No comments:

Post a Comment