Monday, June 17, 2024

~~ ඉටු මිතුරු ~~




අසුන හිස්වී ගෙවී ගිය මුත්
අදට හරියට සත්දොහක්
අදයි ලැබුනේ ලියන්නට නම්
මටත් හරි ඉස්පාසුවක්

ලොකු දුරක නොව තවත් ඉන්නේ
පෙනෙන මානෙක අපි ඉතින්
හැකියි නම් අත වනන් හෙට මට
ඔය පෙනෙන කවුළුව දෙසින්

හිස් වූ අසුනයි පිරුණු අසුනයි
එකම සේයාරුවක ගත්
කදිම හිත ඇති මිතුර නුඹමයි
සත් වසට පෙර හැඳිනගත්

නොමියෙනා මහ මතක ගොන්නක්
එකතු වී ඇත සත් වසක්
කෙසේ වන්නද එසේ අමතක
ඒ සොඳුරුතම මතකයන්

දුන්නු ගුරුහරුකම් සියල්ලන්
මට අගෙයි අදටත් හෙටත්
සොඳුරු මිතුදම් පිරුණු හසරැල්
වටී මහමෙරකට තරම්

හැඳිනගත් ඒ සොදුරු හදවත් 
හදේ පතුලෙම රඳවමින්
බලලා යන්නට හනික එන්නම් 
ලැබුනොතින් ළඟදිම ඉඩක්

Thank you Roki🙏

අවුරුදු හතක මතක කැටිකොට ලියුව ලස්සන කවිවලට🙏


--- නදීශානි කළුගම්පිටිය ---





Monday, June 10, 2024

~~ නික්ම ගිය මිතුරියට ~~



කල් ගතව සේවයෙන් ඉනික්බිති
නික්ම යනු වස් සොයා නව ලොව
දැනුම් දුන් සඳ සැමට පෙර දිනක
තනි වුනෙමි මතක පෙළ අද්දරින්

සත් වසක පෙර කලක එක් දිනක
පැමිණි සඳ රැකියා පුහුණු ලැබුමට
ජය ලබා සිප් සතරින් පරතෙරට
අභ්‍යාසලාභිනිය උපාධි අපේක්‍ෂිත

මිතුදම් ඇරඹුණු සඳ පැමිණි දින සිට
කල් ගතව විය එය සහෝදර බැඳීමක්
සිනාවෙන් කතාවෙන් රාජකාරියෙන්
ඇයම විය සහයෝගය අප සැමටමත්

ඉඳ හිටත් මත ගැටුම් ඇති වූවා නොවෙද
ඒ සියල්ලම දරා සිනාවෙන් කළ කතාවට
මිතුදමක් කිසිඳු විට අත් නොහැරි ඇය කදිම
සොඳුරු බව නොවෙද ඇය සියල් සිත් දිනුව

දින දිනම ඉගෙනුමින් වෘත්තියෙන් පිරුණු
තරගකාරී සංස්ථාපිත පරිසරය අතරින්
හිනිපෙළේ ඉහළටම ඇය ගමන් කළ අයුරු
තුටින් බලා සිටියෙමි ජය ටැඹ පසු කරන   

එකම තැන නොසිටිමින් දකින්නට නව ලොවක්
කරන්නට වෙනසක් ජීවිත ගමන තුළ සිටින්නට
වෘත්තීය ගමන් මග නව ඇරඹුමක් දකින්නට
සමුගන්න අප වෙතින් නික්ම යන්නට සිටින

අවසන් වැඩ දිනය සියල්ලක් කළ පිළිවෙලින්
නික්ම යන්නට මතුව කළ කතා බහ හදට
සඟවමින් කඳුළු බිඳු පිරිමි හදවතට අහිමි වූ
සමු දීමි අද ඇයට හදවතින් සුබ පැතුම් මැද

හිස් වූ අසුන ඔබ නොමැති දැකුම සිත කරන දුක
නික්ම ගිය නුඹ නිතර සිහිවෙනු ඇත අප සැමට
නුඹ දුටු සිහිනයන් සැබෑ වනු ඇත නිරන්තරයෙන්
නොකරනු මැනවි අමතක ගෙවී ගිය ඒ කාලයත්

--- එච්. එම්. ආර්. බී. රත්නායක ---