Saturday, March 21, 2020

~~ අගුලු ලෑමක් ~~



සලිත කරවා සියොළඟ 
මර බියෙන් පන නලට
කොරෝනා වෛරසය
වීදියට පැමිණ ඇති

චිනයෙන් උපත ලද මුත්
ඉතාලියෙන් මෙරට ආ
දනන් කළ විකාරෙට 
නිරෝධායන නොවී පැන

බටහිරට වයඹටද 
දකුණු පස තැනින් තැන
රට පුරා පැතිරෙන්න 
තැත් කරන වෛරසය

කී දේ නාහනා කල 
ජනතාව නූගත් නොවූ
විනය නම් කොයිබටද 
නොදන්නා විලස ඇති

බාර වන්නට කියයි 
බලධරයන් හොඳින්
නොඅසාම පැන ගොසින් 
රටක් ඇති ගිනි ගොඩින්

පනවා නීති නිවාඩුව 
අනිවාර්යයත් කරවා
නොඇසූ කන් ඇති 
පිරිස් පාලනය නැතිවා

බියපත් අයවලුන් පැමිණ
රැස්වෙලා නගර මැදකට
කඩ පොළේ ඉන්ධන හළේ 
සොයයි ජීවිතය රකින්නට

ඇති හැකි එකා පුරවා යන 
නැති කෙනා සුසුමන් හෙළන
අතර මැද පනවා ඇඳිරි නීතිය
නිල නොවන සේ අගුලු ලන්නට 

සියොත් සිව්පා සතුන් හඬ පමණි
නොමැත මිනිස් හඬ ඇසෙන
නගර ගම් දනව් පාළුවට ඇතිය
ඉඳ හිටත් දුවන නිල රථ පමණි

රසට නිසඳැස් ගොතනු බැරිවා
සිතට අදහස් ගලනු නැතිවා
ගතට අලසක් දැනෙනු ඇතිවා
යහන පමණක් නින්ද ලැබුවා

---රකිත---



No comments:

Post a Comment