Tuesday, January 11, 2022

~~ නොතෙපල වූ කල ~~

 


නුඹට නුඹ හමු නොවූ කලකට

මටද මා හමු නොවූ විටෙකද

අපට අප හමු නොවූ යුගයක

නොවේ කිසිවක් ඵලක් ඇත්තේ

 

පොළෝ ගැබ අහස් කුස සිසාරා

විහිදුවා දෛවයත් සයුරු තල මතින්

සොයා යන්නට සොඳුරු ලොව ඇති

සෙනෙහසේ සුව සොයා ආලයෙන්

 

වදනකුදු නොපවසා ඉඟි බිඟිද නැතුවාට

හදවතක රැඳි හැඟුම් සිර කර තබමින්

සිනාසෙමි දැවෙමින් බියට පත් සිතින්

මිතු දමත් නිම වේද ආලයට යටත් වී

 

දිනෙන් දින දළු ලා වැඩෙන සිත

මුවා කරනෙමි හසරැල් පිරි මුවට

නොවේ නම් පමණ හිමිවන්නට

වසන්තය නිමා වූ කල ලබන

 

හිනි පෙළට නගිමින් ලොව තරණය කළ නුඹ

බලා සිටිනෙමි එකත් පසෙකව සිට වෙහෙසිව

හසු නොවනා මානයක පියා සලනා කලට

තුටු වෙමි හදවතින් නුඹ ඒ ලැබූ ජය මං පෙත්

 

එක් නොවී තැනූ ලොව වෙන් වෙන්ව

එක් නොවී යන ගමන් වෙන් වෙන්ව

එක් නොවී දිනනා ජයක් වෙන් වෙන්ව

එක් නොවී කරනා පෙමක් වෙන් වෙන්ව

 

ඉපිද මියෙනා ලොවේ දහස් වූ දනන් මැද

නොවේමද අපත් කුරා කුහුඹුවන් සේම

මහා මෙරක් මුත් සිතින් බැඳි පෙම අපට

නොවේ එය මේ ලොවට එක් වැලි කැටක්වත්

 

සාදාකල් නොමියෙනා මතක වන්නටත්

ආල සිත සඟවමිය සැබෑ ලොවකින් සිටත්

කාලයට ඉඩ හරිමි සියල් අත්හැර ගොසින්

සසර මග දිගු වේද බැඳි කෙලෙසුන් මතින්

 

---රකිත---




 

 

 

 

 

No comments:

Post a Comment