Friday, December 31, 2021

~~ නික්ම යාම ~~











පවසන්න නොහැකි කළ 
සඟවමින් සැබෑ තතු
හැඟුමන් සිතක රැඳි 
කරමින් යටපත් සොඳින්

බලා සිටින්නෙමි නිහඬව 
එකත් පසෙකට සිටන්
නික්ම යන්නට මත්තෙන් 
මදක් හැරී බලමි ඒ දෙස

කල් ගතව තෙපලන්න 
සොඳුරු දෑ සවනත් වෙතට
පමා වැඩි බව දනිමි දිවි මගක 
හිනි පෙළක් නගින්නට

එකිනෙකා පසු කරන් 
මා නොයන වේගයෙන් ගොසින්
හෙමින් යන ගමන් මග 
නුඹට උරුමයක් නොමැතිවද

දිනන්නට තැත් කරත් නම් 
පරාජය උරුමය වී එන කලට
වළකම්ද කර්මයක් කෙලෙස 
පිං මදිවාට විඳින්නට සුඛය

කළ පවට කිමද නුඹ 
කර ගසන්නට දුක් කන්ද ඇති
කම් නොමැත හැර ගියත් 
නොවේ නම් විස්සෝපයන්

ඔච්චම් කරන කාලයා 
ගෙවී යන හැඩ දකිමින් නිතර
ඇද හැලෙන දින දසුනෙ 
දින සති මාස අවුරුදු ගණන්

දෙපසකට වී හිඳන් පලක් නැත 
නරඹමින් එකිනෙකා
වෙන්ව යන්නට යාමම 
පමණ සුදුසු බව දැන දැනම

කාලයා කිසි දිනක නොවිසඳන 
ගැටලු කම්කටොළු ලොව
දිනා ගත යුතුව ඇත වෙර වඩා 
අදිටනින් විඳවා හෝ කලක්

මා විඳින ඒ දුකත් ලබා උපන් 
කර්මයත් නුඹ විඳිය යුතු නැතිව
ඉත සිතින් අවසර දෙමි සොඳුරිය 
නික්මෙන්න මා ලොවින්

නිළ බලය ධන බලය 
තෙද බලය ලොවට ඇති පිළිගැනුම
මුසාවක් නොවේමය 
එකඟ වෙමි නොපවසා කිසිවකුත්

මාපියන් හදා වඩන 
දියණියන් ලොව දිදුලවන දිනක
අකැපය ඇයට දුක් විඳුම 
උරුමය විය යුතු සැපයම ඇයට

---රකිත---



No comments:

Post a Comment