Sunday, March 31, 2024

~~ නොකී කවක් ~~

















තුරුණු බව වියැකි සඳ 
කල් ගතව ගිය කලට
වසන්තය සොයා ගොස් 
සිප් සතර ලබන්නට

හිටි හැටියේ හිත ගොසින් 
අහඹු ලෙස දුටු නුඹට
කවුරුන්ද කියනු මැන 
ඇය පැමිණි දිවි තුළට

සිනාවෙන් කතාවෙන් 
සිත් ඇදුනු ඇය වෙතට
වදන් හුවමාරු විය 
කෙටි පණිවුඩ ලෙසින් සැම

නුදුටුවත් සැබෑ ලොව 
හමු වූ සංඛ්‍යාංගික අවකාශයක
සිහිනයන් දකින්නෙමි 
දිනක නුඹ දකින්නට

එක් දිනක විමසු සඳ 
වයස් මට්ටම නුඹද 
නුඹම පැවසූ කලක 
ඒ වයස් මට්ටමත්

කෙසේ නම් පවසම්ද 
සැබෑ තතු ඔබ වෙතට
නුඹත් දියණියකි මට 
වයස් මට්ටම අනුව

හසරැල්ල පා ඇයත් මුදු හඬින් 
නොපෙන්වා වෙනසක්
මිතුදම්ද පමණක්ම 
පුද කරන් සිටි කලට

ලොවක එක් කොනක 
මා තනි වුනෙමි සිතන්නට
හිමි අහිමි දෑ ඇතිද 
කෙතරම්ම දකින්නට

සසර පෙර කර්ම පෙළ 
රිය සකක් සේ ඇදෙන
හඹා එන කලට නම් 
වැළැක්විය නොහැකි සඳ

දුරින් සිට බලා සිටිමි 
නොවන්නට වියපත් බඹර
සිතක් යටපත් කරමි 
නොලබනා ප්‍රේමයට

--- එච්. එම්. ආර්. බී. රත්නායක ---




No comments:

Post a Comment