Monday, April 3, 2023

~~ රුදු සැබෑවක් ~~

 


වෙහෙසකර දිනක

අග පීඩිතව ගිය සිතට

සැනසුමක් සොයන්නට

පහසක් විඳින්නට

 

නොවේ ඒ කිසි දෙයක්

සන්තකව දිවියකට

කලකිරී පිය මනින

සුපුරුදු වූ නවාතැනකට

 

කල් ගතව ඇවෑමට

වසන්තය නික්ම යන

ගිම්හානයේ දොරටු

විවර වී ඇතිව එන

 

ලවනතත් වියැකෙමින්

තුරුණු කම නිමවන

වටහා ගනිමි දින දිනම

සැන්දෑව උදා වන

 

තුරුණු සිත සිරවෙලා

වැඩිහිටි ගත තුළටව

සිතුවිලිද ඉවත ලා

දොස් දකින ලොවට බියව

 

තනිව සිටිනෙමි

තැවෙමින් අහිමි වූ දෑ දකින

නවමු පරපුර ගමන යන

අප සිටි තැන්ද පසු කරන්

 

දිව යන්න ඒ සමග

වෙර නැතිය පෙර ලෙසින්

නවතිමිය දැන් මෙතන

වෙහෙසයි නම් දැන් ගතට

 

හිමි නොවන දෑ වෙතට

පෙම් බඳින සිත කදිම

වෙමින් ඇත දින දිනම

වියපත්ව ගත තුළම

 

තුරුණු සිතුවිලි දැහැන

වදනකට පෙරළමින්

අකුරු කරනෙමි ඉතින්

අංකිතව ජාලයට

 

එදා රැඳි ප්‍රේමයක

සිතුවිල්ල සඟවලා

සිනාවෙන් වසා ගමි

දොම්නසක තතු සලා

 

මතු භවක ලබන්නට

අහිමි දෑ ඉත සිතින්

පිං කරමි ලබන්නට

සැනසුමක් මතු සසර

 

--- රකිත ---




Monday, March 13, 2023

~~ විතැන් වූ හැඟුම් ~~



සිසිල් වූ රැයක මුවා කර සඳවතත්
අමාවක දිනක රෑ සැඟව කුටියකත්
රක්ත වර්ණ මුසු අඳුරු ආලෝකයත්
යට ගියවූ හැඟුමන් විසිරී යාමටත්

මධු විතක රස බලා ගතට වෙර නගා
රසමසවුළු ගෙන උදර කුහරයද පුරවා
ස්නානයෙන් පිරිසිදුව ඇඟලුමෙන් සරසා
කුටියේ දොරටුව දෙසට නෙතු බලා අයා

රෝස පෙති විසිරිලා යහන මත සුවඳ දී
කන්වයින වට කරන් අතර මැද ඉඩත් දී
පා තබන මුදු හඬ ඇසේ දොරටුව පිටට වී
සිත ඉවසිලි නැතිය දක්නා තුරු රුවට වී

විවෘතව වැසි දොරටුවෙන් නාරි රුව ඇදී එන
රෝස පැහැ කෙටි ඇඟලුමෙන් සැරසී එන්න
යහන මත හිඳ තුටින් අඩවන් වූ නීල නෙතින
මිහිරි හඬකින් විමසමින් අවැසි තතු පවසන්න

රැළි පිටට රැළි නගින හැඟුම් පෙළ සිත දවන
පිපී එන රොම් කූප පුරාවට කෙලෙසුන් නිවන
මල් කැකුළු පිපී එන රසෝජාව ගලා හැලෙන
සුන්දරය ඒ මොහොත හැඟුම් පිරි ඉතිරෙන්න

නෙතින් නෙත ගැටී යන නළල් තල රැළි නගන
දෙතොල් පෙති මතින් අද සියල් සිරුරත් සිපින
වෙලෙන ලෙලෙන දෑත් දෙපා එකම වූ ලෙසින
ලොවක තනි වෙමු අපි අපේ වෙන කල් එන්න

ලබන්නට ඇති ලොවේ උරුම වූ සොඳුරු සුවයක
පතන්නමි නුඹෙන් අද අඳුරු වී ගිය සීත වූ රැයක
විතැන් කරනෙමි හැඟුම් පෙළ දැරූ ගතකත් සිතක
මුසු කරන් සොඳුරු වූ ආලයට රාගයත් මේ රැයක

--- රකිත ---



Sunday, February 26, 2023

~~ පසුව අවසන් ~~




රචනය කරම්ද ලිපියක් 
විද්‍යුත් තැපෑලක්
කෙටි පණිවුඩයක් 
දුරකථන ඇමතුමක්

නිහඬ වූවෙමි 
නොලැබෙන සඳ පිළිතුරක්
නොපෙනෙනා ලොවට 
කුමට අනාගතයක්

නිරන්තරයෙන් අප දුටුවත් 
එකිනෙකා මුහුණින්
නොවේ තව දුරටත් දැකුමට 
හුරුපුරුදු ලෙසකින්

හැකි නම් වන්නට මුවා වී 
ලෙසකින් අතුරුදහන්
සමු අරන් නික්මෙන්න 
හමුනොවනා ලෙසින්

බිඳී විසිරී ඇති ගොඩ නැගූ 
සිහින අප එකට
මතකයක් පමණි අද 
එක් කොනක සිතට

ගමන් මග කොයිබටද 
නොතේරෙන කලට
කුණාටුවකි අද මුළු ලොවම 
නුඹත් නැති විට

කාලයා නොදැනීම 
අප පසු කරන් යනු ඇතිය
මතක අමතකව යාවි 
තරගයට ඇති වේගයෙන්

තනිව එක් මගක යනු වස්
සිත් හදත් ගොඩනගමි
එකම එක ඉලක්කය පමණි
සිතක ඇති සැනසුමත්

වරම් නැත ලබන්නට සුවය
ඒ සොඳුරු මහිමයක
පෙර කළ පාපය ගෙවුමට
රකිමි බඹසර නුඹ නාමයට

--- රකිත ---





Wednesday, February 8, 2023

~~ තුතියට ~~




කල් ගත වුවත් රඳවා මතකය වූ හදට
කෙතරම් රුදුරු වුව ලොව පිරි මා හට
නිබඳවම මා වෙනුවෙන් සිටිනා ඔබට
හසරැල් ගෙනෙන විට නිබඳව වුවනට

නොවෙනස් ලෙසින් සිටිනා විටක තුටින්
සීමා ඉක්මවා මිතු දම් පරයා නැගූ සිතින්
නරඹා කොඳුරා ඒ දිනක ඉමිහිරි වූ මතින්
උපන් වූ ආලයේ සොයා ආ සොඳුරු තැන්

නොසඟවා පවසන්න සියලු දෑ සිතක ඇති
වටහාගෙන කරුණු විවර වූ නම් මනස් ඇති
ලැබූ දෑ ගෙන තුටින් දිවි ගමන සොඳුරු ඇති
නුඹම විය මිණි පහන මා ලොව එළිය ඇති

නුඹ සතුව ඇති දැනුම මා ගැනත් පවසන්න
හැඟුම් පිරිපුන්ව ඇති නුඹ ගැනත් දැනගන්න
එක්ව ගමනක් යන්න ආලයත් ලැබගන්න
සවිය වෙමු අප අපට එක්ව ලොව ජයගන්න

කළගුණත් සලකන්න නම් සසර තව ඉදිරියට
පතමි හද පතුලතින් හමුවන්න ඇය දිවියකට
සීත රුදු කුණාටුව මැදින් පැමිණි වසන්තයට
තුති පුදමි ඉත සිතින් තනි නොකළ නුඹ වෙතට

--- රකිත ---  



Tuesday, January 10, 2023

~~ අවසානයක් ~~



බොහෝ කල් ගෙවී ගොස්
පැමිණ ඇත එක් මොහොතකට
එකම එක තීරණයකින්
දිවි මගක වෙනසක්ද වන්නට

වෘත්තීය ගමන් මග වෙත
දොළොස් වසරක් ගෙවී යන
ඒ කලට පැමිණ ඇත 
එකම හැරවුම් ලක්ෂ්‍යයක්

පිරිස් බල කෙරුමට අවම
ලොකු පුටු ගත් තීරණ පෙළට
විවේචන නම් නොකරමි
යථා බව දැනෙනා නිසාවෙන්

කිසි දිනක නොදුටු නොලැබෙන
මිල මුදල් ගණනක ගෙවුම්
සැලසුමට එකඟ වෙමි 
මුළු හදින් එක් ලෙසින් සිට

ඉදිරිපත් කර ඉහළට හනික
පිළිගෙන තහවුරු වූ කලට
සිත පිනා යන අයුරක් දැනුනි
මතු ලැබෙන ඒ සැනසුමට

පිනා සිත ප්‍රීතියෙන් පිරි ඇතිව
පැමිණියෙමි නැවතත් අසුන වෙත
එනමුදු නොසිතූ ලෙසින් නම්
දැනුනි හැඟුමක් දොම්නසින් පිරි

මත ගැටුම් සිත් රිදුම් බිණුමන්ද  
තිබි නමුදු සිටියෙමු එක් පවුලක් විලස
දුක සතුට බෙදාගෙන හිනැහෙමින්
එක්ව සිටි සඳ එකම පවුලක් ලෙසින්

අත්හැර යනු වස් සියල් අවසානයේ
මතකයන් පමණක් රැගෙන 
දින ගණන් ගෙවී යන කලට
සිතත් බර වේ වියෝ හැඟුමෙන්

උදා වී ඇත වෙන්ව යන්නට ඉතින්
සඟවමින් නෙත් කඳුළු බිඳු උනනා
අනාගතයක සුබ සිහින දකිමින්
අලුත් ගමනක ඇරඹුමක් ලබන්නට

පොදි බැඳන් මතකයන් රැඳි සිත තුළත්
හදවතින් වැළපෙමින් වියෝවේ රිදුමකින්
බලා ඔබ සැම දෙසත් තවත් එක් වතාවක්
ඉතින් මට අවසරයි සමු අරන් නික්මෙන්න  

--- රකිත ---




~~ මිහිරක මහිමය ~~




ඉහළ නැගෙන ලෙස 
කඳු මුදුනට
නොහැකි වන 
ලෙසක නැවතුමට

සිහින දකින කල 
ඉටු කරලන්නට
නෙතක පිරී ඇති 
පැතුමන් විලසට

මුදු හසරැලි පිරි 
වුවනක් දැකුමට
උණුසුම සපිරුනු 
පහසක් ලැබුමට

හැකි පමණින් 
යුතුකම් කෙරුමට
හදවත පවසන 
වදනක් ඇසුමට

තුරුලුව ළමැදේ 
නුපුරුදු හැඟුමට
හුස්මට යොමු කර 
මදකුත් සවනට

නේක ගැටලුවෙන් 
බර වූ සිතකට
නිමේෂයක සිට 
නිවා සනහාලන්නට

ඉක්මන් ගමනක සිරි 
කෙටි වන දිවියට
දිගු ලැසි ගමනක් 
අසිරිය ඇති ගෙනෙනට

නේක වර්ණ පිරි 
ලොව දැක ගැනුමට
පොදි බඳිනා සිතුවිලි 
මතකය විලසට

නුඹ එනතුරු එහි 
බලා සිටින්නට 
අමතක නොකරනු 
මැන ඒ දිනයට

සුපුරුදු මද හසමද 
රැගෙන දකින්නට
සිත දින දින ලතැවෙන 
ලෙස දිනුමට

--- රකිත ---





Sunday, December 18, 2022

~~ මොහොතක ඉනික්බිති ~~


ශුද්ධ වූ ජලය ලැබූ ලෙස වුව
ගී ගයනා සියොතුන් ලෙස වුව
ඉඩෝරයට වර්ෂාවක් ලෙස වුව
ඒ ලැබි සියල්ල අවසාන වී ඇත

දිගු රැයක් නිමවා අඳුරු වූ දින 
උදා හිරු නැගී දුන් ආලෝකයෙන්
දෙනෙත් විවර කර බලනු මැන
සියල්ල නිවැරදි වනු ඇත දිනක

සුසුමක හෝ එක් හුස්මක රැඳි
නොදැනුනු හැඟුමක සටහන් මත
රැළි පිට රැළි නැගි වුව එය හැර යන
නිමාව ඇත දැන් නිදහස් වන්නට  

ඉහළ අහස් කුස පහළ පොළෝ තල
පාෂාණිභූතව ඇති ලොව තුළ
දෙදරවා සුනුවිසුණු වී ඇති සිහිනයන්
මැද තනිව සිටිනා ලෙසින් හැඟෙනු වස්

ඇස් මානයේ පෙනි සවනතට වැකි
පරාසයෙන් ඔබ්බට විතැන් වී ගිය
බලවේගයක රැඳි ආත්මයක තතු
පවසනු ඇත අනන්ත වූ ප්‍රේමයක්

--- රකිත ---