Sunday, February 4, 2024

~~ සිතට දැනුනු කවි සීපද 3 ~~



කළු කෙසත් අතර නර කෙසත් දිලෙනවා
නර කෙසත් අතර කළු කෙසත් ගැලවිලා
හිස් මුදුන් මැදට දැන් පුන් සඳක් නැගෙනවා 
කුමන හෝ අරුමයක් බව ඉතින් දැනෙනවා

මුදු පෙනුම ඇති වුවන ලවනතත් මැකෙනවා
පරිණතව ගිය පෙනුම එහි ඉතින් මැවෙනවා
රැවුල් ගස් තැන් තැනින් සුදු වෙන්න හදනවා
පෙර පෙනුම අහිමි වන වගක් මට දැනෙනවා

ගිලී ගිය නෙතු සඟලෙ පෙනුම දැන් අඩුවෙනා
සවන් යුගලද ඉතින් ඇසෙන හඬ මදිවෙනා
රස නහර දැන් කොහෙද විඳීමක් නැතිවෙනා
වෙනස නැත ගඳ සුවඳ ඒ දෙකම දැනෙනවා

පිරිපුන්ව තිබූ ගත ටිකෙන් ටික වැහැරෙනා 
රැළි නගින ලෙස සයුර ගත රැළිද නැගෙන්නා
සිතක රැඳි දිරියත් දුබල ලෙසකට දැනෙන්නා
තෙදවත්ව ඇති පෙනුම වියපත්ව පෙනෙන්නා

කඩිසර කමද නොමැති බව නිතර සිතෙන්නා
නිදි සුවය නිති ලැබුම ගත නිතර සොයන්නා
සතර හන්දි නොව සියල් අස්ථින් රිදෙන්නා
වාරුව ගත රැඳි සවිය මා වෙතින් ගිලිහියන්නා

සිප් සතර නැණ නුවණ ගත් කදිම ලෙසින්නා
රැඳී ඇත තවමත් සිත් තුළ සොඳුරු ලෙසින්නා
කාලයා බැට දුන්න සිරුරද රකිනු ලෙසින්නා
බොහෝ දෑ කැප කරන්නට සිදුවන ලෙසින්නා

හැඟුමන් දැනුමන් නොඅඩුවම නිති තිබෙනවා
එනමුදු සිතට දියණියන් සේ ඔවුන් දැනෙනවා 
වියපත් වන ගත තුළට තුරුණු සිත සිරවෙනා
මටම මා හිමි නොවන වගක් දැන් දැනෙනවා

රසට කවි පද බැඳුම පෙර ලෙසම දැනෙනවා
ගද්‍ය පද්‍ය කලා රස ගිලිහෙන බවක් සිතෙනවා
සැපත නොව දුක පමණ සිතක් අද රැඳෙනවා
සිතින් පමණක් රසට ලොවක් මා මවනවා

තරගයේ දිවෙන්නට නොහැකි බව පෙනෙන්නා
තෙද තුරුණු අයවලුන් මා පසු කරන් දිවෙන්නා
ගත සිතද හදවතද වෙහෙස වූ වගක් දැනෙන්නා
මදක් නවතිනු වස් පසෙක දැන් මටත් සිතෙන්නා

දූපුතුන් ලෙසින් මා අන් සියල්ලන් දකිනවා
දිවි මගේ සන්ධ්‍යාව උදා වූ බවත් දැනෙනවා
අඳුරු වන අහස් කුස අනියත බවද කියනවා
කළ හොඳ පමණක්ම රැගෙන මා නික්මෙනා

--- එච්. එම්. ආර්. බී. රත්නායක -- 




Thursday, February 1, 2024

~~ සොඳුරු ඇය ~~


නිමිත්ත - Audit girl 


බියක් දැනුන මුත් සිතට එය
විගණනය නම් වදනක් වුවද
පැමිණි කල ඇය එහි උදෑසන 
පහව ගිය බිය නුඹ වුවන දුටු 

මුදු හඬින් අමතමින් කරුණු අසමින්
සටහන් කරන දෑ උකුල් පරිගණකයේ
වගකීමද භාරදූර වන කල වුවද
මද සිනාවෙන් සරසා මුව නිරන්තර

සිහින් අතැඟිලි දුවනා හැඩ යතුරු පුවරු මත
උපැසින් වැසූ දෙනෙත් දිවෙනා තිරය මත
එකිනෙක ගැටලු විමසා බලන මැනවින්
කුසලතා සපිරි වූ යුවතියක් වූ විලස

සියල් දෑ නිසි ලෙසින් සිදුවූ කලට කදිම
තුටු පෙනුම දුටු සඳ ඇගෙ වුවන මත තිබූ
විගණනය නිම වූ නමුදු නිම නොවූ හැඟුමන්
නික්ම ගිය සඳ ඇය සමුදෙමින් හසරැල් මතින්

කඩිසරෙන් වැඩ මතින් කාර්යය බහුලවද
දුව පැන යමින් නමුදු වෘත්තීය භාවයෙන්
ඉටු කරන රාජකාරිය නිවැරදිව නිති ලෙසින්
ඔබ අබියස නතර වූ කල සිතිවිලි පිරි හදවතක්

සිහිනයෙන් දකින්නෙමි නුඹේ රුව නිරන්තර
පවසන්න බොළඳ බස් කැස කවන සිත කදිම
රාජකාරිය මධ්‍යයේ දිවා සිහින දකින්නට
නුඹම විය වස්සානය ගිම්හාන නිමා කළ

පවසන්න දිරි නොමැති වුව හදට
කවිකමින් ගෙත්තෙම් කරමි
දකින්නට නිසඳැසක් නුඹ නෙතට
සංඛ්‍යාංගික අවකාශ තුළ මෙලෙස 

අවුල් වියවුල් සහිත ජීවන ගමනක අතර 
අහඹු ලෙස පැමිණ නැවතුමක සිටින විට
විගණනය කරන්නට දිවිය මා සතුව ඇති
හැකිද තව එක් වරක් දකින්නට නුඹ දිනක

-- එච්. එම්. ආර්. බී. රත්නායක -- 




Sunday, January 7, 2024

~~ තවත් එක් දිනක් ~~

 
















කිසිවෙකුත් නොවූ තැන
පාෂාණිභූත අසුන් ම‍ත
බොහෝ කල් ගෙවී ඇති
පෙඳ පාසි බැඳී ඇත

සරසවිය සිහිනයක් වන
දශක ද්විත්වයට පසු
සති අගට එන කලට මතු
පමා වැඩි වූ ලෙසේ

තනිකමට හුරු වෙච්ච
හදවතක් හිමි වෙච්චි
දැනේ පාසි බැඳී ඇති
පාෂාණිභූත බංකුව විලස

හමුවන්න සමුගන්න එහි
කිසිවෙකුත නොවූ සඳ
බලා සිටිමි උදාවන තුරුත්
ගිම්හානයෙන් වසන්තය 

හමන මද නල සිසිලසක් දෙන
තුරු සෙවණ එහි මනරම්ය
එන්න හැකිවාද තවත් එක් වරක්
හමුවෙන්න පෙර ලෙසින් 

වරම් නැති වූ සඳ එහිද
පමා වූ කල් ඇතිවා නොවෙද
හිමි නොවුනු ඒ යුගය
නොවේ නම් යලි අපට හිමි

නැගී සිට නික්මෙන්න පෙර
හැරී බලනෙමි තව වරක්
තනිකමක ඇති රුදුරු කම
පාසි බැඳි සිතක් මෙන් නොවෙද

යුගය රැඳි වස්සානය දිවිය
අවසන්ව කල් ගතව ඇති
මතකයක් පමණක් රැගෙන
නික්ම එමි බංකුව වෙතින් 

--- එච්. එම්. ආර්. බී. රත්නායක ---




Sunday, December 3, 2023

~~ එක් සිතක ~~















මද නලින් එන ඇයගේ හඬින්
තුටු වේය දෙසවන් පිරී සැනසී
සිසිලසින් පිරි අඩ සඳ එළියෙන්
නුඹ සුවඳ විඳ ගනිමි සිත් ලෙසේ

දිවා රැය ගෙවී කාලයා ඉගිල යන
සෙවනැල්ල සේ පැමිණෙනා කල
නුඹ දුරස් කිමද අද වන්නට පමා
එකම මොහොතක් හිමිද අපටත්   

නොදැනෙන්න ලොවකට හොරා
සිතක් ඇත දුර ගමනක් ගොසින්
වැළඳ ගැනුමට සෙනෙහසින් ඔබ
ඉඩක් ඇත පපු තුරුල මත තවත්

මද හසින් පිරි නුඹ වුවනද දකින
සැනසුමක් ගෙන දේය මා සිතට
ලොවට මා නුඹ පතන නිරතුරුව
නැති නොවන බව දනිමි ආලයක්

රැයක නැගි සඳ සේම නුඹ දකින කලකට
සිසිලසින් නිවන්නට හදක රැඳි ගින්දරක්
සෙනෙහසක අරුත දැකගනුමට ඔබෙන්
ඒ දිනය උදාවන තුරු කල් ගනිමින් සිටිමි

-- එච්. එම්. ආර්. බී. රත්නායක --



Wednesday, November 1, 2023

~~ නැවතුම ~~
















කළ නොකළ දෑ 
බොහෝ ඇතිවාද
වසන්තය ගෙවී 
ගොස් නොදැනීම

ගිම්හානයද එළඹි 
ඇති මොහොතක
සිතින් තනි වීමි 
කල්පනා ලොවක

වියැකෙනා තුරුණු කම 
නටබුන් වූ අතීතය
සිහිකරන පෙර මතක 
හද වේදනා දෙමින

කළ නොකළ දෑ වෙතට 
වන මුසුප්පුව
ඵලක් නැත සිතා ගෙන 
වර්තමනය වෙතට

මග තවත් වැටී ඇති 
යෑමටද දුර තිබෙන
වෙහස නම් දැනේ දැන් 
ගතට මෙන්මද සිතට

නවතින්න මදකට 
ගිමන් හැර ඇරඹුමට
පසුකරන් යන දනන් 
දකිමි මා නැවතූ විටෙක

මටම මා අහිමි වූ 
ලොවක දිවි කුමට තව
තිත තබන්නට දිවිය 
සිතේ නිරතුරුව දැන්

දිනක ලොව තනිවන්න 
සිදුවනා බව දනිමි
කෙසේ නම් දරන්නද 
තනිකමක රුදුරු බව

අවසරයි නවතින්න 
මදක් නිවුමට වෙහෙස
පසුකරන් ගියත් ඔබ 
නොවේ කහටක් සිතක

උරුමයක් නොමැති තැන 
කුමන අයිතියද ඇති
නිවී සැනහී නික්මෙන්න 
අවසරය දෙනු මැනවි

--- එච්. එම්. ආර්. බී. රත්නායක ---



Thursday, October 5, 2023

~~ පැමිණීම ~~










මමද නුඹ ගැන සිතුවෙමි 
පසුපසින් පැමිණියෙමි
නුඹ පැවසූ සකල දෑ 
ඉටු කළෙමි හැකි පමණ

ඉනික්බිති නුඹට මා 
මෙවලමක් පමණ වූ කල
කිමද මා තවත් නුඹ 
වෙතට ආශාක්ත වන්නට

පෙර භවක හමුවූ 
පුරුදු ගති ඇති නොවෙද
ආලයද ලැබි නොවේ 
නම් ණයක් වූවාද

වදන් කියනා දමන 
ලොකු කම් සිතද රිදවනා
තවම මා නුඹ ගැනම 
සිහින මවමින් සිටියි

බොහෝ අය කියන විට නො
ගැලපෙන බව නුඹත්
දෙසවන් යොමු නොකළෙමි 
ඒ වදන් වෙතට මම

දැන් දැන්ව වැටහේවි 
ඒ පැවසූ කරුණු පෙළ මටත්
තීරණය ගනිමි මා 
නුදුරේම නව ගමනකට

ධන බලය රූ සපුව 
නොමැති වුව අන් අය මෙන්
ඒ කිසිඳු දෑ නුඹට 
නොතිබුනා නොවෙද 

කල්පිතය බිඳ හෙළා 
යථාර්ථය වෙතට පිවිසෙමින්
තවත් මා නොඑන්නෙමි 
නුඹේ අත පතාගෙන

දහස් ගණනින් ඇති 
දනන් අතර ඇති හිමිකාරි
සොයා යමි මින් මතුව 
නුඹේ දෙස නොබලාම

කී කළ දෑ නුඹ වෙනුවෙන් 
සිතමි ණය ගෙවූ ලෙස
නික්මෙන්න අවසරයි 
නුඹ වෙතින් නව ලොවට

--- රකිත ---




Sunday, September 3, 2023

~~ හිමි අහිමි ~~

 


පියා සලා නුබ ගැබේ 
සිසාරා ඉගිලෙන්න
වරම් ලැබු මුත් 
නොයන්නට වෙන්ව

නේක වර්ණිත ලෝකයක් 
පාමුල පැමිණි
නව ලොවක් සදන්නට 
සිහිනයන් එක් කරමු 

ග්‍රීෂ්මය ගත දවන 
නිමා වන බව දනිමි
නුඹේ වත ඉඳ හිටත් 
දකින්නට සිත් වේය

පාළු කාන්සිය අතර 
ආලයක ඉතිරියක්
ලබන්නට කවදාද 
උණුසුමක පහසකින් 

සසර මග බොහෝ කල 
පැමිණ ඇතිවා දනිමි
හැර දමා ඉගිලෙන්න 
ඇයිද ඒ කරුණු ඇති

අවදි වන විට දිනක අප
නැවත නොඑනා ලෙසින
අපේ ලොව තනි වන්න 
දිනක් උදා වන තුරු සිටින

පැතුම් පොදි බැඳන් මැවූ 
සිහිනයන් රැගෙන ගොස්
යාත්‍රා කරන්නෙමු අපද 
මැවූ ලොව සොයා දිනක

දිවා රෑ දින සතිද මාස අවුරුදු 
කාලයක් ගෙවා ගෙන
බලාපොරොත්තුව රැගෙන 
කාල තීරුවක සිටිනා අපද

නිමා නොවනා ගමන 
වෙහෙසකර නැවතුමක
කෙටි මගක් නොමැති කල 
නොවේ නම් සැනසුමක්

අප නිතර මුමුණාවි 
සවන් ළඟ නැඹුරු වී 
ආලයක මහිමයක් 
හිමි අහිමි වූ ලොවක

--- එච්. එම්. ආර්. බී. රත්නායක ---