Friday, December 31, 2021

~~ නික්ම යාම ~~











පවසන්න නොහැකි කළ 
සඟවමින් සැබෑ තතු
හැඟුමන් සිතක රැඳි 
කරමින් යටපත් සොඳින්

බලා සිටින්නෙමි නිහඬව 
එකත් පසෙකට සිටන්
නික්ම යන්නට මත්තෙන් 
මදක් හැරී බලමි ඒ දෙස

කල් ගතව තෙපලන්න 
සොඳුරු දෑ සවනත් වෙතට
පමා වැඩි බව දනිමි දිවි මගක 
හිනි පෙළක් නගින්නට

එකිනෙකා පසු කරන් 
මා නොයන වේගයෙන් ගොසින්
හෙමින් යන ගමන් මග 
නුඹට උරුමයක් නොමැතිවද

දිනන්නට තැත් කරත් නම් 
පරාජය උරුමය වී එන කලට
වළකම්ද කර්මයක් කෙලෙස 
පිං මදිවාට විඳින්නට සුඛය

කළ පවට කිමද නුඹ 
කර ගසන්නට දුක් කන්ද ඇති
කම් නොමැත හැර ගියත් 
නොවේ නම් විස්සෝපයන්

ඔච්චම් කරන කාලයා 
ගෙවී යන හැඩ දකිමින් නිතර
ඇද හැලෙන දින දසුනෙ 
දින සති මාස අවුරුදු ගණන්

දෙපසකට වී හිඳන් පලක් නැත 
නරඹමින් එකිනෙකා
වෙන්ව යන්නට යාමම 
පමණ සුදුසු බව දැන දැනම

කාලයා කිසි දිනක නොවිසඳන 
ගැටලු කම්කටොළු ලොව
දිනා ගත යුතුව ඇත වෙර වඩා 
අදිටනින් විඳවා හෝ කලක්

මා විඳින ඒ දුකත් ලබා උපන් 
කර්මයත් නුඹ විඳිය යුතු නැතිව
ඉත සිතින් අවසර දෙමි සොඳුරිය 
නික්මෙන්න මා ලොවින්

නිළ බලය ධන බලය 
තෙද බලය ලොවට ඇති පිළිගැනුම
මුසාවක් නොවේමය 
එකඟ වෙමි නොපවසා කිසිවකුත්

මාපියන් හදා වඩන 
දියණියන් ලොව දිදුලවන දිනක
අකැපය ඇයට දුක් විඳුම 
උරුමය විය යුතු සැපයම ඇයට

---රකිත---



Friday, December 24, 2021

~~ මාද වූ කල ~~












අවලංගු වන කලට 
නොවේ රස පෙර සේම
දැනෙනවලු ඉඟි බිඟි අතර 
එක දෙකක් වදන් අතර

ඉස්සරම තරම් නොවේලු 
දැන් වැඩත් හරි නැතිලු
ලාබාල වියත් අය ඇතිලු 
තුරුණු බව ඉතිරෙමින් සිටි

වැරදිත් නැති ඒ මතය දරා 
හිස නමමි විකල්පය නැතිව
කාලයක් තිබුනාට ගමන 
දුර මදිවාද දැන් ලොවට   

රුවත් හැඩ වියැකේලු 
තිබුනාද පෙනුමක් පෙරත්
පෞර්ෂය ගැටලුවක් මන්ද 
වයසටත් නොගැලපෙන ලෙසට

සිප් සතර මදිවාලු 
දක්ෂකම් අඩුවක්ලු
පමා වී ඉගෙනුමත් 
කැප නැතුවා වාගේලු

හිනි මගක ඉහළට යන්න 
ටිකක් හොර වාගේලු
හුන් තැනමත් ඉන්න එක 
හොඳ නැතිවාලු දැන් දැන්ම

කරුමයට බර දීලා 
සිටියාට හිත් සනසාලා
අබල දුබල කම් ඇති බව 
නොදන්නවා නොවේමද

උපන් විට ලැබුනු ගති 
හැකියාව නිමාවද ගෙනෙන
කෙලෙස නම් වෙනසක් කරම්ද 
නොලැබෙනා දෑ තිබෙන

මටම මා හිමි නොවන 
සිහින ඇති බිඳී යන
කුමට පසුතැවෙනු අද 
හිමි අහිමි කම්වලට

කාල තීරුව ගෙවෙන 
නොවේ හැමට එක සේම
ලැබෙන නොලබුම ඇතේ 
පදනම්ව පෙර පිනට

බලා සැනසෙනු පිණිස 
ගිම්හානයක අබිමුවේ
මාවා පෑ සිනාවක 
සඟවමින් සැබෑ හැඟුමන්

දරාගෙන සියල් බර 
තනි වන්න ජීවිත ගමන
බොහෝ සේ තනා ගතිමි 
සිත පුරා දිරි රැගෙන 

---රකිත---




Wednesday, December 15, 2021

~~ නිමාවක් !? ~~


















එකත් පසෙකට වෙමි 
වෙහෙස දැනුනු වස්
කළ වෑයම් වූ කල 
ගඟට කැපූ ඉනි ලෙසින්

කළ නොකළ නේක දෑ 
නොවුනු කල ඵලක්
කුමන නම් අදිටන්ද 
කර්මයක් ලැබි නවතන්න

පමා වූ ඉගෙනුමත් සිප් සතර 
ලැබුමට නිසි කලත්
මැදි වියට පිය මනින මුත් 
වන්නට සිසුවෙක් විලස

වෘත්තියත් ගෙන කලක් 
ගත වී ගිය දින ගණන වුව
ජ්‍යෙෂ්ඨයා වී ඇති සේය 
කණිෂ්ඨ තනතුරු අතර

රොස් පරොස් ඇනුම් බැණුම් 
අපහාස උපහාසයන්
අඩුවක් නම් නොවේ 
සෑම දින පුරුද්දක් වෙලා අද

විටෙක හදවත යන විනිවිදව 
රිදවමින් සියල් ගතම
නොමැත අන් සරණක් නම් 
ඉවසනු මිස අන් දෙයක්

ලැබෙන නොලැබෙන දෑ සිතා 
ඵලක් නොවනා කලට
නිහඬ වෙමි අද කුමන නම් 
කෙරුමන්ද දිරියක් නැතුව

අවැසි නැත අවැසි කළ 
අවැසි ලෙස නොලැබෙන දෑට
හඬක් නොනගා නිහඬ වෙමි 
නිහඬ බව වටිනා බැවින්

දිවි ගමන ගෙවෙනා සඳ 
වනා පරිණත දිනෙන් දිනටම
සිතෙනා කලට හැඟුමන්
දැනෙනා ගතට යථා බව නිතර

අත් හැර දමා යන්නෙමි 
සොයා ජය ටැඹක් නොලැබූ
අකැප වූ හිමි නොවූ 
කෙම් බිමින් නික්මී සදා කල්  

---රකිත---




Saturday, December 4, 2021

~~ අදත් නැකත් දවසක්ලු ~~


සේවයට යනු වස් පිටට යන කල
සවනතට වැකි ගිනි කෙළි හඬක්
කොනේ ගෙදර සිටි යුවතියත් 
දීග යනවාලු අද මඟුල් ගෙයක්ලු

පාරටත් බැස්සාම ගමනේ යනකොටත්
නෙත ගැටුන නොව මංගල රථ කිහිපයක්
නැකත් දවසක්ලු අද මංගල්‍යයන් ගොඩක්
සුබ දිනයක් වන්නේලු මෙවන් කල් ඇති

කන්තෝරුවෙත් ජේත්තුවට ඇඳ පැළඳ
පැමිණි සිටියන් බොහෝය එකට එකතුව
සොඳුරු යුවතියන් කාන්තාවන් හැඩ වෙනා
බඳිනවාලු අද එක් යෙහෙළියක් ඔවුන්ගේ

ප්‍රධානියාත් පෙනෙන්නට නැතිලු අද දිනේ
ඔහුගේ දුවත් විවාහා වෙනවලු අද නැකතට
මඟුල් උත්සවය නම් ලොකු හෝටලයකලු
ආරාධනාවන් නම් සීමිත පිරිසකට පමණලු

කාටත් නොකියාම සිය පුතුගේ විවාහා මංගල්‍යය
ගන්නවාලු උත්සව ශාලාවක කළමනාකරුත් අද
වසංගත නිසා ආරාධනා නැතිලු කිසිවෙකුටත්
දන්වා ඒවා තිබුනාලු සාදයක් දෙන්නට පසු දිනක

තුරුණු බව පිරි එකට වැඩ කළ අයවලුන් ටික දෙනෙක්
අද පෙනෙන්නට නැතේ විමසුවෙමි ඒ ගැනත් කාරණා 
දෙදෙනෙකු අද විවාහ වෙනවලු සොඳුරු ආදර ගමනකින්
අනිත් දෙදෙනා ඔවුන්ගේ දෙවන මනමාල මනමාලියලු

මුහුණු පොත් බිතු පිරී යයි මංගල සේයාරූ උඩුගත කළ
දකින දුටින හැම තැනක සොඳුරු මංගල කතා පමණකි
සිරගතව සෙක්කුවට වැඩ කළෙමි දින පුරාවට සිටන්
කල් ගතව ගොස් ඇතිය පමාවට වැඩ සිරව සිටි කලට

නිමා කොට සියල් වැඩ පිටතට එන්න පහේ කණිසමට
දන්නා නොදන්නා අය දුටිමි ආදර බර යුවල් යුග ලෙස
නොදුටු සේ නික්ම ගොස් අසුන් ගනිමි කවුළුව අසල
නිදා වැටෙමි යන තුරාවට ගමනාන්තය වෙතට සැම

සරසා ඇති රථයන් ඇදේ මැද රටට සැන්දෑ කලට
මධු දිනක සුවය අද ලබනු ඇත ඔවුන් සැවොම
පිය මනින විට දකිමි ජාතික ධජය ඔසවා ඇතිව
අද මංගල්‍යයන් නම් ගොඩක් තිබිලා නොවෙද

නිවසටත් පැමිණිලා පැන් සුවය ලබා සිත් ලෙස
පැමිණි කළ දුටිමි මේස මත රැඳි ස්තුති පතක්
ලොකු අයියාත් ගිහිල්ලාලු මඟුල් ගෙදරක අද
මිතුරෙක්ලු ඒ ඔහුගේ කන්තෝරුවේ සිටින

අම්මා පැමිණ නරඹයි ඒ ස්තුති පත හොඳින්
අසරණව ඇය බලයි ඉනික්බිති මා දෙසත්
ඒ නෙත් කෙවෙණි තුළ රැඳි ඇති කඳුළු
සැඟවිය නොහැක ඇයගේ සිතේ හැඟුම්

පුතේ නුඹ මනාලයෙකු ලෙස දකින්නට තෙදින්
වරමක් නැද්ද මට දෑස් පියාගන්නා දිනකට පෙරත්
පිළිතුරු නැති මුවින් හරවා මුව බිමට සිටිමින්
නික්ම යමි නිහඬවම ඇය වෙතින් මා කුටියට

රුව නොමැති ධන බල නොමැති උගත් කම සීමාවූ
තුරුණු කම පලා ගොස් මැදි වියට පා තබන කලකට
මංගල සිහිනයට තව දුරයි සිහිනයක්ම වන්නට ඇතිය
අදත් නැකත් දවසක් මංගල සිහින බිඳි දොම්නස් රැඳි

---රකිත---