Saturday, December 4, 2021

~~ අදත් නැකත් දවසක්ලු ~~


සේවයට යනු වස් පිටට යන කල
සවනතට වැකි ගිනි කෙළි හඬක්
කොනේ ගෙදර සිටි යුවතියත් 
දීග යනවාලු අද මඟුල් ගෙයක්ලු

පාරටත් බැස්සාම ගමනේ යනකොටත්
නෙත ගැටුන නොව මංගල රථ කිහිපයක්
නැකත් දවසක්ලු අද මංගල්‍යයන් ගොඩක්
සුබ දිනයක් වන්නේලු මෙවන් කල් ඇති

කන්තෝරුවෙත් ජේත්තුවට ඇඳ පැළඳ
පැමිණි සිටියන් බොහෝය එකට එකතුව
සොඳුරු යුවතියන් කාන්තාවන් හැඩ වෙනා
බඳිනවාලු අද එක් යෙහෙළියක් ඔවුන්ගේ

ප්‍රධානියාත් පෙනෙන්නට නැතිලු අද දිනේ
ඔහුගේ දුවත් විවාහා වෙනවලු අද නැකතට
මඟුල් උත්සවය නම් ලොකු හෝටලයකලු
ආරාධනාවන් නම් සීමිත පිරිසකට පමණලු

කාටත් නොකියාම සිය පුතුගේ විවාහා මංගල්‍යය
ගන්නවාලු උත්සව ශාලාවක කළමනාකරුත් අද
වසංගත නිසා ආරාධනා නැතිලු කිසිවෙකුටත්
දන්වා ඒවා තිබුනාලු සාදයක් දෙන්නට පසු දිනක

තුරුණු බව පිරි එකට වැඩ කළ අයවලුන් ටික දෙනෙක්
අද පෙනෙන්නට නැතේ විමසුවෙමි ඒ ගැනත් කාරණා 
දෙදෙනෙකු අද විවාහ වෙනවලු සොඳුරු ආදර ගමනකින්
අනිත් දෙදෙනා ඔවුන්ගේ දෙවන මනමාල මනමාලියලු

මුහුණු පොත් බිතු පිරී යයි මංගල සේයාරූ උඩුගත කළ
දකින දුටින හැම තැනක සොඳුරු මංගල කතා පමණකි
සිරගතව සෙක්කුවට වැඩ කළෙමි දින පුරාවට සිටන්
කල් ගතව ගොස් ඇතිය පමාවට වැඩ සිරව සිටි කලට

නිමා කොට සියල් වැඩ පිටතට එන්න පහේ කණිසමට
දන්නා නොදන්නා අය දුටිමි ආදර බර යුවල් යුග ලෙස
නොදුටු සේ නික්ම ගොස් අසුන් ගනිමි කවුළුව අසල
නිදා වැටෙමි යන තුරාවට ගමනාන්තය වෙතට සැම

සරසා ඇති රථයන් ඇදේ මැද රටට සැන්දෑ කලට
මධු දිනක සුවය අද ලබනු ඇත ඔවුන් සැවොම
පිය මනින විට දකිමි ජාතික ධජය ඔසවා ඇතිව
අද මංගල්‍යයන් නම් ගොඩක් තිබිලා නොවෙද

නිවසටත් පැමිණිලා පැන් සුවය ලබා සිත් ලෙස
පැමිණි කළ දුටිමි මේස මත රැඳි ස්තුති පතක්
ලොකු අයියාත් ගිහිල්ලාලු මඟුල් ගෙදරක අද
මිතුරෙක්ලු ඒ ඔහුගේ කන්තෝරුවේ සිටින

අම්මා පැමිණ නරඹයි ඒ ස්තුති පත හොඳින්
අසරණව ඇය බලයි ඉනික්බිති මා දෙසත්
ඒ නෙත් කෙවෙණි තුළ රැඳි ඇති කඳුළු
සැඟවිය නොහැක ඇයගේ සිතේ හැඟුම්

පුතේ නුඹ මනාලයෙකු ලෙස දකින්නට තෙදින්
වරමක් නැද්ද මට දෑස් පියාගන්නා දිනකට පෙරත්
පිළිතුරු නැති මුවින් හරවා මුව බිමට සිටිමින්
නික්ම යමි නිහඬවම ඇය වෙතින් මා කුටියට

රුව නොමැති ධන බල නොමැති උගත් කම සීමාවූ
තුරුණු කම පලා ගොස් මැදි වියට පා තබන කලකට
මංගල සිහිනයට තව දුරයි සිහිනයක්ම වන්නට ඇතිය
අදත් නැකත් දවසක් මංගල සිහින බිඳි දොම්නස් රැඳි

---රකිත---




No comments:

Post a Comment