Monday, August 26, 2024

~~ නික්ම ~~





රිවි කුමරු ක්ෂිතිජ ඉම
සමුගෙන නික්ම වූ සඳට
නටබුන්ව ගිය දිනක වූ
රූ රටා සිත්තම් වූ නුබද

පමා වූ වසන්තය ලෙසම
හැඩකාර හැන්දෑව මත
පියමනිමි ඉතිරිව ඇතිම
අඳුරු වූ ලොව වෙතට

සෙවණැලිත් හැර යන කලට
දිවි මගට උදාවන සැඳෑ සමය 
කල්පනා භරිත වෙමි සිටින
උපේක්ෂා සිතිවිලි රටාවට

හිස බරට රිදුම් දෙන ලෙසට
වැඩ ගොන්න දින පතා ඇති
රැකියාව සිප් සතර මැදට 
දෝලනය වන ජීවිත මිහිර

එක් වරක් හෝ සිතින් වත්
විඳින්නට මද ඉසිඹුවක්
ඉස්පහසුවක් නැතිද නම්
සිරව ඇති රටාවෙන් 

පිං මදව ලබන්නට කදිම 
සොඳුරු ලොව දනන් සතු
මා ඉතින් නික්ම යමි මෙසේ
හිස් මතකයන් රැගෙන


--- එච්. එම්. ආර්. බී. රත්නායක ---




Thursday, July 11, 2024

~~ අහිමි වූ පෙම් මහිම ~~



හද පුරා දැවටී සොයා ආ ප්‍රේමයක්
සිහිනයක් නම් නොවෙද දුටු දින
පැවති හුස්මක් ලෙසින් දිවියක
මකනු නම් කෙලෙස මතකයක්

හුදකලා සිතුවිලි සයුරු මැද
කඳුලැලි මතින් ලියවූ කවක්
නුඹ සුවඳ පිරි මල් කළඹ මෙනි
මතක ගෙන යන අතීතය වෙත 

දැහැන් ගත වනු වස් නුඹ හඬට
නිහඬ වෙමි රැයක අඳුරු මැද
කාලයේ අවෑමට ගෙවී ගොස්ව
වියැකිලා ප්‍රේමයක් ඉකුත්වී ඇතිව

තනිව සිටිනට සදා දිවි තුරාවට
මනස සකසමි පිළිතුරු නොමැතිවට
පෙර සමරුමක නෂ්ට වූ මතකයක්
ගිලිහී යනු වස් නොදැනීම සිටත්

සසර මග හමු වෙලා පෙර කර්මයට 
දවාලූ හදවතක විලාපය අසාගෙන
වදනකදු නොපවසා සඟවලා හැඟුම්
ඉවසා වදාරා නික්මී යමි ඉතින්

පැතුමක් සොඳුරුය ඉටුව යන කලට 
ඉඟියත් කදිමය හැඟුමක් ඇති කල
නොමියෙන ප්‍රේමය සුසුමක් නොවනට 
තනිව සිටින්නෙමි දිවි අවසන් වන තුරු

--- එච්. එම්. ආර්. බී. රත්නායක ---





Monday, June 17, 2024

~~ ඉටු මිතුරු ~~




අසුන හිස්වී ගෙවී ගිය මුත්
අදට හරියට සත්දොහක්
අදයි ලැබුනේ ලියන්නට නම්
මටත් හරි ඉස්පාසුවක්

ලොකු දුරක නොව තවත් ඉන්නේ
පෙනෙන මානෙක අපි ඉතින්
හැකියි නම් අත වනන් හෙට මට
ඔය පෙනෙන කවුළුව දෙසින්

හිස් වූ අසුනයි පිරුණු අසුනයි
එකම සේයාරුවක ගත්
කදිම හිත ඇති මිතුර නුඹමයි
සත් වසට පෙර හැඳිනගත්

නොමියෙනා මහ මතක ගොන්නක්
එකතු වී ඇත සත් වසක්
කෙසේ වන්නද එසේ අමතක
ඒ සොඳුරුතම මතකයන්

දුන්නු ගුරුහරුකම් සියල්ලන්
මට අගෙයි අදටත් හෙටත්
සොඳුරු මිතුදම් පිරුණු හසරැල්
වටී මහමෙරකට තරම්

හැඳිනගත් ඒ සොදුරු හදවත් 
හදේ පතුලෙම රඳවමින්
බලලා යන්නට හනික එන්නම් 
ලැබුනොතින් ළඟදිම ඉඩක්

Thank you Roki🙏

අවුරුදු හතක මතක කැටිකොට ලියුව ලස්සන කවිවලට🙏


--- නදීශානි කළුගම්පිටිය ---





Monday, June 10, 2024

~~ නික්ම ගිය මිතුරියට ~~



කල් ගතව සේවයෙන් ඉනික්බිති
නික්ම යනු වස් සොයා නව ලොව
දැනුම් දුන් සඳ සැමට පෙර දිනක
තනි වුනෙමි මතක පෙළ අද්දරින්

සත් වසක පෙර කලක එක් දිනක
පැමිණි සඳ රැකියා පුහුණු ලැබුමට
ජය ලබා සිප් සතරින් පරතෙරට
අභ්‍යාසලාභිනිය උපාධි අපේක්‍ෂිත

මිතුදම් ඇරඹුණු සඳ පැමිණි දින සිට
කල් ගතව විය එය සහෝදර බැඳීමක්
සිනාවෙන් කතාවෙන් රාජකාරියෙන්
ඇයම විය සහයෝගය අප සැමටමත්

ඉඳ හිටත් මත ගැටුම් ඇති වූවා නොවෙද
ඒ සියල්ලම දරා සිනාවෙන් කළ කතාවට
මිතුදමක් කිසිඳු විට අත් නොහැරි ඇය කදිම
සොඳුරු බව නොවෙද ඇය සියල් සිත් දිනුව

දින දිනම ඉගෙනුමින් වෘත්තියෙන් පිරුණු
තරගකාරී සංස්ථාපිත පරිසරය අතරින්
හිනිපෙළේ ඉහළටම ඇය ගමන් කළ අයුරු
තුටින් බලා සිටියෙමි ජය ටැඹ පසු කරන   

එකම තැන නොසිටිමින් දකින්නට නව ලොවක්
කරන්නට වෙනසක් ජීවිත ගමන තුළ සිටින්නට
වෘත්තීය ගමන් මග නව ඇරඹුමක් දකින්නට
සමුගන්න අප වෙතින් නික්ම යන්නට සිටින

අවසන් වැඩ දිනය සියල්ලක් කළ පිළිවෙලින්
නික්ම යන්නට මතුව කළ කතා බහ හදට
සඟවමින් කඳුළු බිඳු පිරිමි හදවතට අහිමි වූ
සමු දීමි අද ඇයට හදවතින් සුබ පැතුම් මැද

හිස් වූ අසුන ඔබ නොමැති දැකුම සිත කරන දුක
නික්ම ගිය නුඹ නිතර සිහිවෙනු ඇත අප සැමට
නුඹ දුටු සිහිනයන් සැබෑ වනු ඇත නිරන්තරයෙන්
නොකරනු මැනවි අමතක ගෙවී ගිය ඒ කාලයත්

--- එච්. එම්. ආර්. බී. රත්නායක --- 




Wednesday, May 15, 2024

~~ වස්සාන රාව ~~



ගුවන් ගැබ වසාලූව
කළු වළා පෙලට වූ
අකුණු ගෙරවිලි මතින් 
මිහි මතට පතිත වූ

ගැටී විසිරී වෙන්ව 
යළිඳු එක් වී තුටින
ගලා යන අයුරු හැඩව
බලමි නිහඬව පසෙක

සිසිල් වූ මද නලින් ගෙන
සොයන්නට මුදු උණුසුමක්
සිතක් ලත වෙන මොහොත
සැඳෑ කල සොඳුරු දන වෙත

කාල හෝරා නවතා මදක් 
තනිවන්න ඒ නිමේෂයකින්
මුවා වන්නට මද වෙලාවක්
පැතුම් ඇත හද නිමාවක

වැසි කුමරි වැළඳගත් සඳ
රෝමාන්තික හැඟුම් පෙළ 
විසිර යන්නට ඉඩ හරිමි
දිනක යළි වැසි වැටෙන දින

--- එච්. එම්. ආර්. බී. රත්නායක ---

Thursday, April 25, 2024

~~ සොඳුරු පැතුම ~~




සිහිනයක් දකින්නෙමි
පතන්නට පැතුමකින්
ඉටු නොවන සඳ වුවද
සිතුවිල්ල මනරම්ය

පෙම් බැඳිව සිත් ගත් ඇයට
එකත් පසව එක් පියසි යට
ගොඩ නැගූ ලෝකයක සුවය
ලබන්නට පුංචි දියණියක

නොලැබෙනා කිසිඳු දින
හිමි නොවන ඒ පැතුම
සඟවමින් දොම්නසක්
පාමි හසරැල් ලොවට

දියණියන් පුතණුවන් දුටු කලට
හැඟේ ඒ මාගේම වෙන ලෙසට
සෙනෙහසක වෙනසක් නොවන
දූ දරුවන් වෙත සැම ලෙසින් සිට

මතු භවක හෝ ලබන්නට
දියණියක් සුරතල් දකින්නට
පතන්නෙමි දෙව් බුදුන් වෙත
සොඳුරු දිවියක් විඳින්නට

--- එච්. එම්. ආර්. බී. රත්නායක ---

~~ හමුව ~~



පැමිණ කොළොම් පුර
මංමුලා වූවාද තොප
දියක් නැති මානයේ
නිල්ල නැති ලෝකයේ

වෙහෙසද නුඹටත් අද
මටත් වෙහෙසයි ඉතින්
නුඹට ගොදුරු නැතිවාද
මටද නැත කාසි පනම්

සාගින්නේ නුඹ දැවෙන සඳ
මා දැවේ සිතේ ගින්නෙන්ම
තිරිසන් නුඹත් මිනිස් මමත්
එකම තැන්හි සිටි අපූරුව

හිමි වන්න නියම වූ දෑ සියල්
කපා සොරා ගත් නොමිනිසුන්
අතර අප කුමක් කරමුද ඉතින්
බලා සිටිනු වස් නිහඬව සිටන්

සැඳෑ කල් නික්මෙන්නටද
නැති සඳ කහවණු ලැබුම
දුගී ලෙස හැර යමුද අපි
නිල්ල පිරි දිය කඩ සොයා

--- එච්. එම්. ආර්. බී. රත්නායක ---