සැඳෑ රිවි කිරණ මැද නික්ම ගිය කළ පිටට
දුටිමි එක් රුවක් සොඳුරු පසු බිමින් පිටට
හැරී නැවතත් හැරී බැලූ කළ පිටින් පිටට
හඳුනාගතිමි ඔබ රුව මින් දශකයක් පිටට
ඉන වටට දිග් ගැසුණු එදා නිල් වරලස නොමැත
කාන්තිය විහිද වූ ඒ නිල් නෙතු සඟල ගිලී ඇත
නාදළුද පැරදවූ ඒ දෙතොල් යුවළ වියළි ඇත
මුදු නදින් සැනසු හඬ රළුව කර්කශව ඇත
අඟ පසඟ එදා මෙන් හැඩට නැත දකින්නට
තරව ගිය කඳ බඩද සිහිකරයි තඩි පීප්පෙට
දෑත් දෙපා නිය අතර කළු ගැසී ඇති පාට
විලවුන් ගඳ පරදා නැගෙයි දහදිය සුවඳට
කිමද මේ අරුමය විමසීමි වෙනස දකින්නට
දුවලාම දෙන්නයි එක පොඩි පුතයි ඉන්නට
විවාහවී දැන් දශකයක් කල ඉක්ම යන්නට
සැමියා පමණි වැඩ මා නිවසේ සිටින්නට
සිතේ ඇඳි ගිය කලට එදා මෙන් අගේ රුවට
යටි සිතින් දැනුම් දෙයි වසත් කල ගෙවෙන වට
රුව හඬද වෙනස් මුත් සුහද බව තිබෙන විට
සමුගෙන ගියේ ඈ අවරගිර අඳුරට පෙරට
සිත් තැවෙයි නික්ම යන වසත් කල සිහිවන විට
සිත් තැවෙයි පැමිණ එන ගිම්හානය දකින විට
සිත් තැවෙයි රිසි කලේ රිසි දෑ නොකළ සිටි විට
සිත් තැවෙයි සැඳෑ රුව සිහිනයෙන් දකින විට
---රකිත---
No comments:
Post a Comment