Wednesday, March 7, 2018

~~ නුඹට නොකී තතු ? ~~


සඟවා ලොවට සිතකින් පමණක් පුරන
නුදුරින් සිටින එනමුදු සිතකින් දුරස් වන
වදනින් කරනු වස් දෙඩවුමද නොකරන
නෙතින් බලමි වෙත ඔබ නුදුටු දෙනුවන

නීල වරල කදිමය ගැලපුම නිල් නුවන් යුග
සඳ වැනි වුවන මනරම් රත් දෙතොල් යුග
දිගැටි නාස් පුඩු හා සුමුදු දෙකොපුල් යුග
කදිමයි නුඹ දකින පිං ඇති මා නෙතු යුග

ජයවද්දන පුර අඟනුන් සිහි කළ පුර වැනුම
සංදෙස වූ සැළලිහිණිය සිහි වේ ඔබ වැනුම
මැනවින් සුසැදි වූ ගත නුඹ හැඩ කළ වැනුම
පැහැර ගැනෙන නෙත් සිත් සැම කල් වැනුම

මුතුවන් දසන් සපිරි මද හස හඬ මනරම්ය
තෙපලන වදන් කන්කළු ලෙස වූ මනහරය
ඉඟි බිඟි පාන නුවනද අත් පා කළ පිරිපුන්ය
වෙහෙස කාන්සිය නිවනා රූ බර අඟනක්ය

රුව මෙන් සපිරි සිප් සතරින් උගත් කමට
මිණි පහණකි ඇය නම් රටට මුළු ලොවට
තුරුණු ජවය පිරිපුන් උසස් සියුමැලි ඇයට
ප්‍රස්තුත වේද අපට කවි ගී පද ගෙත්තමට

දුටු දින පටන් සිත් බැඳුනා මා නුඹ වෙතට
එනමුදු නොපවසමි බිඳෙනා සඳ මිතු දමට
අහිමි වුවද වරමන් ඔබගේ පෙම ලබන්නට
පතනෙමි සුභ පැතුම් නොකරමි ද්වේෂයට

---රකිත---


No comments:

Post a Comment