Tuesday, November 29, 2022

~~ පැමිණීම ~~












මද නලින් සසල වන 
තුරු ලතා අතර වුව
නීල නුබ ගැබ තුළත් 
ඇති සේද වළාවන්

කඳු වළලු නුබ සිපින 
සිසිලසින් මන්මත්ව
වසන්තය උදා වන 
බව දනිමි පමාවී වුවද

කුසුම් සුපිපෙනා 
තැනිතලා මැද සොඳුරු 
සිහිවෙනා කල සිරව ගිය 
නගරබද දිවියට

නිරන්තර ලෙසින් 
නිති සිහිවෙනා කලට
පැමිණෙන්න සිත් ඇතිය 
ආපසු ඔබ වෙතට

සියොත් නද රැව් දෙනා 
මිහිරි නද විසිරෙනා
මලින් බර ඵලින් බර 
කෙත් වතුද සරු වෙනා

කලක නුඹ දැක ගන්න 
දින ගණින සැන්දෑවේ
පොර බදන ජීවිතය 
සිරව ඇති තරගයක නැවතී

කාසි පනම් රන් කහවණු 
ධන බල ලබන්නට
වෙර දරා හිරිවැටී 
නැවතුමට මද විවේකයකට

දැකුමට යථා බව 
වටහා ගැනුමට සැබෑ ලොව
පැමිණෙන්න අවසරද 
ආපසු ඔබ වෙතට මට

--- එච්. එම්. ආර්. බී. රත්නායක ---





Thursday, November 10, 2022

~~ පෙම් සිතක් ~~




ඔබ රුව දුටු දින පටන්
නොහෙලා නම් ඇසිපිය 
බලා සිටින්නෙමි නිති 
නුඹේ නෙතු දෙස බලා

නොව පමණ එයින් තුටු
කුමක් කරම්ද සිත කියන
දොඩමළු වන්නට නුඹ හා
සිත් දේ සැම කල් සැම විට

ඔබ ගැනම සිතමින් සිටිමි
නිදි නොමැති රැය ගණනක්
නොසිතේ කිසිවක් සිතට
පිරී ඇත එය නුඹ නමින් අද

ඔබ නොමැති විට දිවියම වේ නතර
වෙනතක් නොබලන නෙතින් සිට
ඔබ සිටින විට අවට රැඳි පෙමින්
නුඹම විය මා ප්‍රේමයේ ඇරඹුමක්

ලොව පුරා දිවි මග දකිමි ඔබ රුව
පෙමට පවසනු වදන් නොමැතිව
මා කුමක් නම් කරම්ද සොඳුරියේ
උමතුව ගොසින් ඇත නුහුරු හැඟුමින්

ඔබ නොමැති ලොවක සිටුමට පවා
සිතිය නොහැකිය ඒ රුදුරු තනිකම
දිනක් එනු ඇත අප වෙත නුදුරකදිම
එක් වන්නට ගෙන අතිනත පැතූ ලෙස

--- එච්. එම්. ආර්. බී. රත්නායක ---




Friday, October 28, 2022

~~ නැවත තතු ~~



හදවතින් නැගෙන්නා වූ 
වියෝවක රාවයක්
කිමද අද වන්නට දොම්නසින්
රැඳෙමින් ලොවේ

දහස් ගණනක් වූ පිරිස් මැද වුව
දැනේ තනිකම රුදුරු
සොයන්නෙමි ඒ දනන් අතුරින්
නුඹේ රුව එක් වරක් හෝ

පැමිණෙන තුරා නුඹ නැවතත් දිනක
බලා සිටිමි මා සුපුරුදු තැනම
හැර ගිය දින නුඹ මා අවසන් වතාවට
හමුවූ මතක පිරි තැනිතලාවේ රැඳී

විටෙක දැනේ නුඹ සිටිනා ලෙස අසලක
හමන මෘදු මද පවන දැවටෙන කල එය ගතට
සොඳුරු පිරිමැදුමක ස්පර්ශයේ රසය
ඒ නුඹද ඇත්තේ කියන් මට

කළ වරද කිම කොතැනද පැවසුමට
නොවද වූ වෙන්වීම රුදුරුව
මා නවතිමි සොඳුරියේ හැකිද නුඹටත්
නතර වන්නට මදක් ගිමන් නිවුමට

නොවේ නම් ගිවිසුමකට නැවත
නොවේ නම් නීතියකට නැවත
නොවේ නම් සැකයකට නැවත  
නොවේ නම් අනතුරකට නැවත

වෙන්නට නැවතත් ඔබ හා එක්ව
ගොඩ නගන්නට ලොවක් අහිමි වූ
කමා කර පෙර දින කළ වැරදි අප
නැවතත් පිය මනිමු සොඳුරු එක් මගක

---රකිත---



Saturday, October 8, 2022

~~ සැබෑවට කියමනක් ~~








සිතට ගතට හදවතටත් 
නොදැනීම ඉනික්බිති
ගෙවී ඇත වසන්තය 
මුවා වී කාලයට බැට දී

එක්ව සිටි සියල්ලන් 
නොමැත නම් මෙහි තවත්
ඔවුන් ඇත දිවි මගේ 
ජය කණුව වෙත ගොසින්

පමාවට කරුණු කිම 
සොයන්නට කලක් නොව
බොහෝ දෑ අහිමි විය 
නොදන්නා කමට මට

අලස කම කුසීතය 
කියන නෙක අයවලුන්
නොදන්නා බව දනිමි 
හැකියාව සීමා මායිම් ඇතිව

පෙර කළ කර්මයන් ඇතිව
සසරේ කළ හුරුපුරුදුකම්
ඇතිවා නොවෙද එකතුව 
මේ භවයටත් රැගෙනත් ඇවිත්

උත්සාහය උනන්දුව ඇතිව 
කළ උපරිමයද දනිමි
ගමන් කළ හැකි දුරත් 
අවේණිකය ඒ ඒ වෙනසින් අපට

සිප් සතර ලබන්නට 
ඉලක්කය දුර ගොසින්
වයස් පරිණත කමත් 
වේදෝ හරස් වන්නට සිතින්

ගතේ දිරි සිතේ දිරි වේය 
දින දින සීමාවෙමින්
පෙනේ දුර රේඛාව 
නවතින්න සිත දෙමින්

වෘතීයමය බවත් ඇති 
සමාජ තත්ත්ව සහ කාර්යයන 
නඩත්තුව අපහසුය නිබඳ 
සැබෑ තතු වැටහෙනා විට

ඉනිමං තැනූ වෘත්තීය දිවි මගේ 
නැගෙන්නට සිත් නොදේ
ඉතින් මට වෙහෙසයි හොඳින් 
මිතුරු මිතුරියේ සමුගන්න අවසරයි

---රකිත---  




Wednesday, September 28, 2022

~~ මා දත් දෑ ~~



නුදුටු ලොවක තතු දකින්නට
නුහුරු හැඟුමක පහස විඳිනට
නොලැබු මිහිරක සුව ලබන්නට
පැතුම් දැරූ හදවතක අපේක්ෂාවට

නොලැබූ දෑ බොහෝ ඇති කල්හි
ලැබූ දෑ නොවේ පමණට ඇතිව
සිප් සතර රැකියාව ඉලක්කයන්ද
පසු පසට ඇද වැටේ වූ පීඩනයට

හැර දමා නික්මෙන්න සිතුවිලි ඇතිද
තරගයෙන් නික්මෙන්න නැත වරම්
දැවී මියෙනා තුරාවට තුරුණු මැදි විය
දිවෙන්නට බල වදියි රුදුරු ලොව

අඳුරු වී යන කලට ඉදිරි මග දකින
පහන් එළි නොවේ ඇති සහයෝගයට
මදක් සිට විඩා හැරුමට සහනයක්
සිහිනයක් වී ඇති සැටි බලන් මිතුරේ

මා පැතූ වසන්තය ගෙවී ගොස් හමාරය
ගිම්හානයට පැමිණ සිතුවිලි වේ තුරුණු
අවැසි අනවැසි දෑට කාලයා පැන ගොසින්
තනි වී සිටිමින් බලා ඒ දෙස පසු තැවෙමි

නුදුටු ලොව නොදකිමිය එය නොවේ කැප
නුහුරු හැඟුමන් නොවිඳිමිය එය නොවේ කැප
මිහිරි පහසින් නොලබමිය එය නොවේ කැප
හදවතක පිරි පැතුම් ඉටු නොවේ එයද කැප

---රකිත---

    



Wednesday, September 14, 2022

~~ තෙහෙට්ටුව ~~

 



පුරා දශකයක් වඩා කලක්
එකම මග ගමන් ගත්තෙමි
දින සති මාස අවුරුදු ගණන්
ගෙවෙන බව නොදැනම තුමු

උගත්තෙමි ලැබගත්තෙමි බොහෝ
ශිල්ප ශාස්ත්‍ර අත්දැකීම් ගොන්නක්
වෘත්තීයභාවය නිතැතින්ම ලැබ ඇති
සුවිසල් ලොවක් මවා සිට සිත තුළ

කාලයාගේ අවෑමෙන් ගතට සිතටත්
වෙහෙසක් දැනෙන බව හැඟෙන කළ
යළි හැරී බලනු පිණිස කල් ගණින
ඵලක් නැති බව වටහා ගන්නෙමි නැවත

එක පිටට එක වැටෙන නිති නේක වැඩ
රාජකාරිය කියා පීඩනය ඇති උපරිමය
සීමාව ඉක්මවා පිනීමට ආසන්න ඇති
දරා ගැනුමත් ඉවසීමත් තමන් සතුවන

තුරුණු බව මැකී යන දින දිනම කල් ගතව
වුවද පරිණත බවත් එහි නොමැත බලයත්
වෙනසක් කෙරුම තැත් කළද විටෙකත්
නොවේ ඉන් පිළිතුරක් ගැටලු ඇත එලෙසින්

ක්‍රමවේද නොමැති කල නිසි ලෙසින් දක්වා
අවසාන ඵල ලබමි මානසිකව පීඩනයෙන්
පාලනය ගිලිහිලා හිසින් ගත වෙන් වූ විලස
අඳුරු වී යන කලට හාත් පස සියල් සිත්තම්

හැඟෙන දැනුනු විට පීඩනය ගත සිත දවන
රුචිය නම් හිමි නැතිය තවත් නම් සේවයට
හැර දා පලා යන්නට හැකි නම් මෙහි නොවී
සොයා සැනසුම සතුට නිදහස මුළු ලොවට

දොළොස් වසක සේවයට දැනේ වෙහෙසකර
නොහොඳ මිස නොව හොඳක් නම් අසන්නට
නව මං පෙත් සොයා පියඹා දොර හරින්නට
තෙහෙට්ටුයි දැන් ඉතින් කල් ඇතිව සමුගන්න 

---රකිත---




Sunday, August 28, 2022

~~ මගට ~~


බැට කා කාලයාගේ අවෑමට
ඉක්මවා යමින් නිසි වයස්
වන්නට සිතූ අය වූ නොවී
බිඳ වැටි අපේක්ෂා භංගව

සිප් සතර නම් නොමැති තව
නොගැලපෙන කලට නිසි
අත් හැර කරමි තැත් නමට
ලබා ගනු වස් කිනම් හෝ දෑ

කල් ගතව සිටිනා කලට නම්
හිනැහේවි ලොවක් කියමින්
කිසිවක් නිසි ලෙස නොලැබූ බව
උපහාස අපහාසයන් මැද සිට

හිමි නොවූ සඳ තමන් හට තමන්
වන්නට හැකිද වෙනත් අයවලුන්
වැටහෙනා කල ඒ සියල් පාඩම්
පමා වැඩි බව දැනේ නිරතුරු

රැකියාව තත්ත්වය රැගෙන යන
කාර්යය නිති වන සංකීර්ණ ලෙස
නොහැක දරුමට තවත් නම්
පීඩනයකි නිතර සිත දවාලන රුදු

සිර කරන් ගත හැඟුම් දැනුමන්
දවා හළු කර දමා රුදු විලසට
නිහඬ කර හදවත නිරතුරුව සිට
උරුම නොවනා සොඳුරු ලොවකට

කඩවසම් රුව ධන බල තෙද නොමැති
කුමට නම් සිතුමට දෙසිතක බැඳුම්
නොකරමි ද්වේශයක් කිසිවෙකුට
මා නොලද දෑ උන් ලබන කල

කළ කී දෑ සැම එකතු වූ අතීතය
දෙස බලා වැළපෙනු කිමද අද
දිවි මග ඉතිරිව ඇති දුරක් යාමටද
කල් ඇතිය ඉතිරිව තවමත් අපට

ඉතිරි වූ යම් දෙයක් වේද එහි ඇති
රැගෙන රැකගෙන නිසි ලෙස එයත්
නිසි මගක ගමන් කර නියම ලෙස
වියුක්තව තරගෙයන් අන් දනන් හා

උරුමය ඇති තුමු වෙත සම්මත දෑ
පමණ ගත යුතු නිබඳ නිසි ලෙස
උගත යුතු දෑ තෝරා නිවැරදිව මින් මතු
ගමන් කළ යුතුය ගමන් මග නිමාවට

---රකිත---