Thursday, April 7, 2022

~~ අරගලය අවැසි කල ~~

 



කලක් නම් සිටියාලු 
දෙපිලටම රැවටිලා
දෙනෙත් අන්ධව සිටිය 
පක්ෂයට රැවටිලා

නොදැන නොදැක අවට 
දැනුනු සඳ සැබෑවක්
දෙනෙත් හැර දුටිමි අද 
සැබෑ ලොව පෙර නොදුටු

ඉන්ධනද එල් පී වායුවද 
ආහාර කිරිපිටි ඖෂධ අවැසි
නොමැත ඒ කිසිවකුත් 
අහවර වෙලා සෑම තැන

දකින පෝලිම් නිමක් නැති 
සෑම දේ නම් හිඟලු
ඉවසන්න පවසාවි උන් 
රටක් වෙනුවෙන් කියා

පිටපත් ගන්නා ලෙසින් 
සිත් සේ මුදල් මුද්‍රිතව
උද්ධමන අහසට නැගේ 
වැටුප් පත එක තැනම

වසංගත නිසා ලොව 
අපට පමණක් නොවේ බැරිකම්
උන් කියයි සිත් ලෙසින් 
හිනැහෙමින් ඔච්චමට

බෙදී වෙන් වී ගොසින් 
පක්ෂ පාට කුල මල ජාති භේදයන්
ලැබී ඇතුවාද සම්පත් 
නුඹලා සැමදා පැතූ 

දින දිනම ඇද වැටී 
රටක් යන අගාධය වෙත
උන් හටත් ඇත වරම් 
ලොව පුරා පැන යන්න 

තව කුමට ඉවසමුද 
සොරා කන උන් කලට
නිදහසින් ලැබූ අප 
ලැබුවාද නිදහසක්

අරගලය ගොඩ නගමු 
නිවස තුළ ප්‍රථමයෙන්
අසල්වැසි අවට නම් 
ගොඩ නගමු දෙවනුවට

තෙවනුවට ගම් දනව් 
නගරයන් සිසාරා
රැල්ල පෙරළිය කරමු 
මගට බැස අරගලෙන්   

සඟ වෙද ගුරු ගොවි කම්කරු 
රණවිරු පොලිස් සියල්ලන්
ලොකු තැන් පොඩි තැන් 
නොවෙනස්ව එකම රැලක් ලෙස

අරඹමු අරගලයක් නසා 
පන්නා දමන්නට සොර රැලක්
ගෙනෙමු නව නායක පරපුරක් 
මිනිසත් භාවයෙන් යුතුවට

මැඬලා බාධක සියල් පැමිණෙන 
නොසැලී එක්වෙමු තැනුමට නව ලොව
අරගල බිම සාමය පිරි බිම් කඩ වන
එක්වී අප සැම නව ගමනක් වෙත

---රකිත---



Thursday, March 24, 2022

~~ සිදුවූ කල ~~



මොහොතකට නැවතිලා 
වේගවත් වූ ලොවක
අහඹු ලෙස දුටු සඳක් පායා 
ඇතිද අඳුරු වූ ගුවන වෙත

නොනවතින තරගයක 
හති වැටී ධාවනය නවතා
සිතන්නට හැකි විය මදක් 
වුවන දෙස බලා මොහොතක්

දකිනා ලොවත් මනරම් 
දකිනා සිහිනයන්ද මනරම්
සොයනා දිවියද මනරම් 
හමුවූ නුඹද වූ කලක මනරම්

සිතා ඇරඹුමට අලුත් ගමනක් 
පැතූ පැතුමන් පොඩි බැඳන් සිට
නොවේ විමසූ නුඹේ සිතුවිලි 
තිබූ වෙනතක් බලා යන කල

වරම් නැත නවතා ලන්නට 
නුඹ යනෙන ගමනක් මටත්
නුඹේ සිත සොරා ගෙන ඇතිද 
කුමරෙකු පැමිණි වෙනතක සිට

කල් ගතව සියල්ලට 
පමා වැඩි බව දැනෙනා ලෙසට
බැට කමින් කාලයෙන් 
පරාජය විඳිමින් දැඩි ලෙසින්

ඉඩ හරිමි හැර යන්න නුඹට 
පතනා ලොවක් ඔබ දකින
සදා තනි වෙමින් දිවි ගමනක 
සොයා වෙනතක් තවත්

අහිමි කම පමණ හිමි වන යුගයටත් 
කුමන අරුමද කරුම නොවෙනස්
ඉතින් කුමකට වෛරයක් ඇයටත් 
අපට අප හිමි නොවනා කලකටත්

නැවතුනත් දිනක නුඹත් මමත් 
නවතීවිද ලොවක් අප සමග
අප පසුකරන් සියල්ලන් යන කලට 
කුමන නැවතුම්ද නුඹටත් මටත්

හමුවේවි දිනක් නුඹත් මම 
නොදන්නා අයවලුන් ලෙස
සිනාසී යමු මදක් එදිනටත් 
කතා බස් කරමින් නැවත

---රකිත---



Thursday, March 3, 2022

~~ පෙර මදක් ~~











ලොවම දුබලව අඳුරුවන 
කලක අත් හැර අපත්
බියෙන් තැති ගත් පීඩිත 
දනන් සොයන පිළිසරණක්

චණ්ඩමාරුත හමා යන කල 
සසල කරමින් හාත් පස විහිදී
සොයන්නෙමි සෙවණක් 
ආදර බර උණුසුමක් පිරි

දැවී මියෙන්නට නොව 
රැකෙනු වස් ඝෝර සිසිලෙන්
පසුපසින් එමි නුඹ වෙතම 
දිවි ඇති තුරා මෙලෙසින් 

කුරිරු කළු වළාවන් 
වසාලන අහස් කුස
අඳුරු වේ මුළු ලොවක් 
අප එක්ව ගොඩ නැගූ
 
තාරුකා නොදිලෙන 
වසාලන පාපයේ නාමයට
විසිරෙනා බලය නපුරේ 
මිදුම් සයුරක් ලෙසින්

මත ගැටුම් බල ගැටුම් නැගෙන
මධ්‍යයේ වූ කෙම් බිම සොයා
නුඹ වෙතට පා තබන්නෙමි 
දැකුමට ආලෝකයක් අඳුරේ

යුධ මතින් දැවී ඉරී 
පිපිරී යන ලොවක
උණ්ඩ වැසි ඇද වැටී 
මියෙනා ලෙසට අප

සරත් සෘතුවේ තුරු මතින් 
වියුත් වූ පත්‍ර සේ පෙනෙන
බිම සිපින මාර සේනා ලෙසට 
බෝම්බ අවි ගැටී ඇද වැටෙන

ගිනි නිරය මැවී පෙනෙන 
දෑස් ඉදිරියට වී නුඹ දකින
සොයන්නෙමි දෙව් ලොවක් නම් 
අදත් නුඹ තුරුලට වෙලා සිට

නිසැකයන් නම් නොමැති 
හෙට දිනක පැතුම් නැති
වැළඳ ගමි තව වතාවක් 
සිතේ අවසන් ලෙසින

බල කාම පල්නේ 
අභික්‍රමණ වන්නට මතුව
වියරු වූ උන් සෙනවියන් 
සිව්රඟ සේනා රැගෙන 

වෙන්ව යමු දෙපසකට 
රැකෙන්නට හෙට දිනට
රැගෙන යනු මතකයක් 
උණුසුම් ලෙසින් දිවි තුරාවට

---රකිත---





Tuesday, February 22, 2022

~~ පැරද පලා විත් ~~


යුධ වැදිමි මා යුධ කළෙමි
පසු බැසිමි අවැසි කල්හිම
වැය වුනෙමි අතැති දෑ නම් 
කල් ගතව සිට වැටහුනෙමි

දැරූ අවි අත නොමැති කල්
සියල් දෑ ගති සතුරු බලමුළු
භූමියේ වාසියට උන් සතුව
රැඳෙනු නම් කෙලෙස මා

වාරු නැති සවි නොමැති කල
ගත සිත නොවේ වලංගු වන
ඇද වැටෙන පවුරු වළලු පෙළ
දැක බලා පලා යන මග සොයා

පහර පිට පහර අහස් එළි මෙන්
මුවා වන්නට නැත වරම් භූමියේ
පසු බසිමි රැක ගැනුමට ජීවිතය
නොවේ නම් සිටිනට තවත් මෙහි

නොමැත ලැබ ගත් දෙයක් මෙහි 
නොමැත හමුවුනු කෙනෙක් මෙහි
නොමැත හිමිවන දිනුමක්ද මෙහි
නොමැත යන්නට ගමනක්ද මෙහි 

අඳුරු නුබ ගැබ වසා කලු වළා අතර
මුවා වී සෙවණැලි තුළින් සඟවා දමා
නොපෙනී අන් දන නෙතට වියුක්තව
පා තබමින් පසුපසට යන්නා ලෙසට

උරුම නැති බිමක පහසක් විඳිනු කිම
නොහැකි සඳ යුධ වැදුමකට නිසි ලෙස
තැත් කළ වුවද අහිමි වූ වාසනාවක් වුව
පැරද පලා යමි සිය පණ නල රැගෙන

විසිරි සේනා සොයනු කිම උරුමයක් නැති
රුදුරු අවි නම් කුමකටද සටනට නොමැති
නුඹට වරමක් ලැබෙනා ලොවක් නම් නැති
රැඳෙනු නම් කිමද තව යනු මැන ඉඩක් නැති

අන් සෙනවියන් දිනනු දැක තුටුව ඇති
පහන් සිත් සදා හද තුළට ගිල්වා ඇතිව
ඉවත් වී නුහුරු බිම් කඩට සමුදී මෙලෙස
සුන්බුන් වූ ඉතිරිය රැගෙන කාලයා සමග

බැට කා පලා විත් රඟන වරමක් නොමැත
රහසේ රකිමි සිට පරාජය ලැබූ මොහොතත්
සුර ලොව මවා බිම වූ කල අපායක් ලෙස
සිට තනිව වසනෙමි ලොව ගැරහුම් මැදිව

---රකිත---



Saturday, February 5, 2022

~~ එක් තැන්හි ~~





පොදි බැඳන් සිහින ගොන්නක් 
දරා සිත පැතුමන් රැසක්
පමා වී වුවද ලොව වෙතට 
පැමිණියෙමි දිවි ජය ලබන්නට

කළ නොකළ දෑ බොහොම 
කල් නොමැත ගණින්නට
රිය සකක් සේ ඇදේ 
ජීවිතය කාලය හා එක්ව

මා යන මගක මා පසු කරන් 
ගමනේ යන දනන්
ගත සවි නැති හැඟුම් පිරි 
නමුදු සිත දිරි ඇතිවාට

සිත් ලෙසින් කළ යුතු දෑ 
කෙරුමට නැති වරම්
ඉදින් තව කුමකටද 
දැකුමට විසූක දස්සන ලොවක්

දිවා රෑ නොදකිනා 
නොවෙනස්ව පෙනෙන කල
කිසිවෙකුත් හමු නොවන 
එක් මගක යන කලක

ජීවිතය නැවතිලා 
එක තැනක සිරවී ලොවක රැඳි
කාලයා ගෙවී යන අයුරුව 
බලමි සිත් ලෙසින් සිට

එකම වදනින් රැගෙන 
පෙරළා දමා සැම අතට
ලියන එක පද පෙළත් 
දැන් ඇතිවා නොවෙද මතු

සම හැඟුම් සිත් දරා 
හදවතක හිස් කමක් දැක
ඉදින් තව කුමකටද 
දොස් නගා අන් අය වෙතට

මටද මා හිමි නොවන 
රුදුරු ලොව දිවි ගෙවන
කිනම් සතුටක් ලබනු 
හිරිහැර දී අන් අය වෙතට

වෙහෙසක් නම් දැනේ 
ගත සිත පුරා එක ලෙසම
කුමක් නම් කරනු මා 
හිමි දෑද අහිමි වන කලට

දුර යන්න සිතුවාට 
කල් නොමැත ලැබුමට වරම්
නවතින්න කල් පැමිණ ඇත 
නොවෙද නුඹ හටත්

හිමි නොවන දෑ වෙතට 
නොවේ තව අසාවන් සිතා
එක් තැනක නවතින්න 
ඉතින් මට අවසර දෙන්න 

---රකිත---




Wednesday, January 26, 2022

~~ ලොවට කියුමට ~~



නොවේ ළා හිරු තවත් 
පායනා මා ලොවට
චණ්ඩ බව නම් නොවේ 
අවරට යන විලස

සන්ධ්‍යාව පැමිණේවි 
අහස් කුස රතු කරන්
අදත් තනිව සිට බලමි 
අහිමි වූ ලොවක් දෙස  

නොදැනීම නොලැබීම 
වසනාවන්ත නැති
අරුමයක් සොයනු කිම 
කාලයා නික්ම ඇති

සරදමක් උපහාසයක් 
වන කල් ලොවට ඇති
තවත් නම් කුමකටද 
මෙලොව දිවි ගෙවනු ඇති

හිටිහැටියේ හිත දුවන 
අතිතයෙ මතකයට
ඵලක් නැත එනමුදුද 
කාලයා ගෙවී ඇතිවාට

මිනිස් නොමිනිස්කම් 
මැදින් ගෙවනා දිවියට
කාලයත් එක් දෑ පමණි 
වෙහෙස වූ සිතකටත්

තිබුන මුත් මග හොඳට 
යනෙන මග නොදනිනා
ලැබෙන මුත් ඇතැම් දෑ 
අවැසි දෑ නොලැබෙනා

නිම් නොමැති පීඩනය 
නිරන්තර ලෙසින් ලැබෙනා
විඳ දරාගන්නෙමි සියල් 
දෝමනස් හද එක්වෙනා

දැහැමින් සෙමින් සිටි වුවද 
ලොවක් නැත නවතිනා
තරග මැද දිවෙන මුත් 
මග හැරෙන බව වූ දැනෙනා

පසු කරන් අප සැමත් 
පරපුරක් ඉදිරියට ඇදෙනා
ඉඩ දෙමින් මග හරිමි 
සිත් සතන් මදක් නිවෙනා

උරුම ඇති කරුමයට 
නොවේ පළි අන් දනන්
පෙර සසර කළ කම්ද 
පල දෙනා කලක් වෙද

ලබා උපන් මුත් දිරිය 
ඇති බැවින් සිත් තුළට
අරඹන්න ගමන් මග 
පමා වී ලොවට

---රකිත---





Tuesday, January 11, 2022

~~ නොතෙපල වූ කල ~~

 


නුඹට නුඹ හමු නොවූ කලකට

මටද මා හමු නොවූ විටෙකද

අපට අප හමු නොවූ යුගයක

නොවේ කිසිවක් ඵලක් ඇත්තේ

 

පොළෝ ගැබ අහස් කුස සිසාරා

විහිදුවා දෛවයත් සයුරු තල මතින්

සොයා යන්නට සොඳුරු ලොව ඇති

සෙනෙහසේ සුව සොයා ආලයෙන්

 

වදනකුදු නොපවසා ඉඟි බිඟිද නැතුවාට

හදවතක රැඳි හැඟුම් සිර කර තබමින්

සිනාසෙමි දැවෙමින් බියට පත් සිතින්

මිතු දමත් නිම වේද ආලයට යටත් වී

 

දිනෙන් දින දළු ලා වැඩෙන සිත

මුවා කරනෙමි හසරැල් පිරි මුවට

නොවේ නම් පමණ හිමිවන්නට

වසන්තය නිමා වූ කල ලබන

 

හිනි පෙළට නගිමින් ලොව තරණය කළ නුඹ

බලා සිටිනෙමි එකත් පසෙකව සිට වෙහෙසිව

හසු නොවනා මානයක පියා සලනා කලට

තුටු වෙමි හදවතින් නුඹ ඒ ලැබූ ජය මං පෙත්

 

එක් නොවී තැනූ ලොව වෙන් වෙන්ව

එක් නොවී යන ගමන් වෙන් වෙන්ව

එක් නොවී දිනනා ජයක් වෙන් වෙන්ව

එක් නොවී කරනා පෙමක් වෙන් වෙන්ව

 

ඉපිද මියෙනා ලොවේ දහස් වූ දනන් මැද

නොවේමද අපත් කුරා කුහුඹුවන් සේම

මහා මෙරක් මුත් සිතින් බැඳි පෙම අපට

නොවේ එය මේ ලොවට එක් වැලි කැටක්වත්

 

සාදාකල් නොමියෙනා මතක වන්නටත්

ආල සිත සඟවමිය සැබෑ ලොවකින් සිටත්

කාලයට ඉඩ හරිමි සියල් අත්හැර ගොසින්

සසර මග දිගු වේද බැඳි කෙලෙසුන් මතින්

 

---රකිත---